දැනට ඇති යටිතල පහසුකම් යොදා ගනිමින් දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගැනීමට අපේක්ෂා කරන බවත් මෙහිදී ආයෝජකයින් තෝරා ගැනීම තරඟකාරී ලංසු ක්‍රමය මත පදනම්ව සිදු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කාර්යක්ෂම හා ගුණාත්මක ප්‍රවාහන සේවයක් ජනතාවට ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන සිදු කරන අතර එහි ආදර්ශ වැඩසටහනක් ලෙස කැළණිවැලි දුම්රිය සේවාව සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද අතුරු අයවැය කතාව අතරේදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩි ආදායමක් ලබා ගැනීමටත් ගුණාත්මක භාණ්ඩ ප්‍රවාහනයක් සඳහාත් මල්, එළවළු තේ කොළ ආදිය ප්‍රවාහනය දුම්රිය මඟින් කිරීමට දිරි ගන්වනු ලැබේ. මෙහි මූලික අදියර ලෙස හාලිඇළ – කොළඹ දුම්රියේ ප්‍රවාහන කටයුතු ඇරඹීමට බලාපොරොත්තු වන බවත් බදුල්ල හා කොළඹ දුම්රිය ද භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදා ගැනීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එලෙසම දුම්රිය ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා ව්‍යවසායකයින්ගේ ද සහය ඇතිව පහසුකම් ඇති දුම්රිය, භාණ්ඩ පැටවීමට හා එකතු කිරීමට ස්ථාන දුම්රිය ස්ථානවල ස්ථාපිත කිරීමට ද කටයුතු කරන බව ද වැඩිදුරටත් පැවසීය.