ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දුන්නේ පොදුජන පෙරමුණේ බහුතරය මතය විමසා නොවන බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

වර්තමාන කෝප් කමිටුවේ සභාපති ධුරය ද දරන මහාචාර්ය චරිත හේරත් මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සිදු කළ සාකච්ඡාවකදී මෙම අදහස් පළ කර ඇත.

පසුගිය කාලය මුළුල්ලේම පොදුජන පෙරමුණේ සහ ආණ්ඩු පක්ෂයේ පිරිස් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරගනිමින් සිදුකළ චෝදනා සම්බන්ධයෙන් සහ එම අවස්ථාවලදී මහ බැංකුව මහ දවල් බිඳදැමූ හොරා ලෙස අපහාස උපහාසට ලක් කළ වික්‍රමසිංහ මහතා චෝදනාව එල්ල කළ පාර්ශවයම බලයේ සිටියදී නැවත වතාවක් රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත්කොට මහ බැංකුව ඇතුළු විෂයන්ද ඇතුළුව මුදල් අමාත්‍ය ධූරය ද ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් චරිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ අදාළ තීරණය ජනාධිපතිවරයා විසින් තනි කැමැත්තට ගනු ලැබූවක් බවයි.

එදා මහ බැංකුව බිඳ දැමූ බවට චෝදනා එල්ල කළ රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ ආර්ථිකය ගොඩ දැමිය හැකි බවට විශ්වාසයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඇති බව ද මහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී සඳහන් කර ඇත.