ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ලබන සඳුදා දිනයේ කැබිනට් අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පක්ෂවල යෝජනා සහ අදහස්වලට අනුව ඊයේ (06) පැවති කැබිනට් මණ්ඩලයට අදාළ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බවය.

කෙසේවෙතත් අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේදී යෝජනා වී ඇති අතර ඒ අනුව ලබන කැබිනට් මණ්ඩලයේදී ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට යෝජනා වී තිබේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද ඊයේ පස්වරුවේ පැවති අතර එහිදී ද 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මේ අතර මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රටේ ආර්ථික තත්වය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය.

ජනතා ගැටලු විසඳීමකින් තොරව  ව්‍යවස්ථා සංශෝධන මේ මොහොතේ ගෙනඒම ප්‍රායෝගික නොවන බව බොහෝදෙනාගේ අදහස වූ බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.