රාජපක්ෂවරු සහ චීනය අතර පැවැති මේ සබඳතාව කෙතෙක් දුරට ශක්තිමත් වූවාද කියනවා නම් ඒ දවස්වල ජනතාව නිකන් කතාවට කීවේ ‘රාජපක්ෂවරු කීවොත් චීනය, චීනය කීවොත් රාජපක්ෂවරු’ යැයි කියාය.
නමුත් මේ ආකාරයේ සමීප සබඳතාවක් ලංකාව සමග පවත්වාගෙන ගිය චීනය මේ වන විට අංශක 360ක් ආපසු කැරකී ලංකාවට එරෙහි තැනකට පැමිණ තිබීම විශේෂ සිදුවීමකි. පොහොර නැවේ ප්‍රශ්නය, ඉන්දියාව සමග ආණ්ඩුවේ අලුත් හිතවත්කම, උතුරේ චීනයට ලබාදී තිබූ දූපත් තුනක් ඉන්දියාවට ලබාදීම මේ සඳහා එළිපිට පෙනෙන්නට ඇති කරුණුය. නමුත් මේ සඳහා නොපෙනෙන යම් කාරණාවක්ද චීනයට බලපා ඇති බව මේ වන විට ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වන තොරතුරුවලින් දැනගන්නට ලැබී තිබේ. විශේෂයෙන්ම කාලයක් පුරා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස වැඩබලන අයකු පත්කර තිබුණද, මීට සති කිහිපයකට ඉහතදී ඒ සඳහා ස්ථිර, ඍජු, ඉක්මනින් තීන්දු ගන්නා, ක්‍රියාකාරී තානාපතිවරයකු චීනය විසින් පත්කර එවීම එහි පළමු සලකුණය. ඒ පිටුපසද විශේෂ කතාවක් තිබේ.

රහස් කණ්ඩායමක් ලංකාවට ඇවිත්!

පසුගිය කාලසීමාවේදී මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය කුමක්ද, ඒ හරහා චීනයට ලැබී ඇති ප්‍රතිඵල මොනවාද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා චීනයේ බීජිං නුවරින් විශේෂ කණ්ඩායමක් ලංකාවට එවීමට පියවර ගෙන තිබිණි. ලංකාවට පැමිණි මෙම කණ්ඩායම ඉතා රහසිගතව මුළු ලංකාවට ආවරණය වන පරිදි රාජ්‍ය තාන්ත්‍රික ආකාරයේ මත විමසුමක් සිදුකිරීමට පියවර ගත් අතර එය අදටත් කිසිවකුත් නොදත් රහසක් බවට පත්ව තිබීම විශේෂිතය. ඒ අනුව මෙම රහසිගත මත විමසුම පිළිබඳ පළමු වරට ලංකාවට අනාවරණ කරන්නේද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේය.
එසේ ලංකාවට පැමිණි චීන කණ්ඩායම 2010 වසරේ සිට චීන රජය ලංකාව තුළ ගෙනගිය ප්‍රතිපත්තිය කුමක්ද, එය නිවැරැදිව ක්‍රියාත්මක වූවාද, එහිදී වැරැදුණු තැන් මොනවාද, එම වැරැදි නිවැරැදි කරගන්නේ කෙසේද යන්න පිළිබඳ සවිස්තරාත්මක විමර්ශනයක් ලංකාවම ආවරණය වන පරිදි සිදුකිරීමට පියවර ගත්තේය. වැඩබලන තානාපතිවරයකු ලංකාවේ කටයුතු කළ සමයේ සිදුකරනු ලැබූ මෙම මත විමසුමේදී ලංකාවේ චීන සබඳතා බොහෝ දුරට බිඳ වැටී ඇති බවත්, එය ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති බවත්, ඊට හේතුව මෙරට තනතුරු දැරූ චීන තානාපතිවරුන්ගේ ක්‍රියාකලාපයට වඩා රාජපක්ෂ හිතවාදී ක්‍රියාකලාපයක් අනුගමනය කිරීම බවත් අනාවරණ කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබිණි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සකස් කළ අවසන් වාර්තාව බීජිං වෙත යැවීමෙන් අනතුරුව සියුම්ව විමර්ශනය කිරීමටද චීනය පියවර ගෙන තිබිණි. ඒ අනුව ඔවුන් බරපතළ තීන්දු තීරණ කිහිපයක්ම මේ වන විට ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

අලුත් තානාපති ‌සක්‍රීය වෙයි!

ඉන් පළමුවැන්න වූයේ ක්‍රියාකාරී ස්ථිර තානාපතිවරයකු ලංකාවට පත්කර එවීමටය. එමෙන්ම ලංකාව සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් කිරීමටද චීනය මේ වන විට තීන්දු කර අවසානය. පසුගිය සතියේදී චීන තානාපතිවරයා උතුරේ ස්ථාන රැසක සංචාරය කරමින් ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකරන ආකාරයක් දැකගත හැකි වූයේ එහි ප්‍රතිපලයක් ලෙසටය. එමෙන්ම චීන පොහොර නැවේ ප්‍රශ්නයේදී ආණ්ඩුවට එරෙහිව බරපතළ ප්‍රකාශයක් නිකුත් කිරීමටත්, රාජ්‍ය බැංකුවක් අසාදු ලේඛනගත කිරීමටත් චීනය පියවර ගත් ආකාරයක් දැකගත හැකි විය.

සජිත්ට චීනයෙන් කෝටි දෙකක්!

එපමණක් නොව පසුගිය සතියේ මෙම චීන තානාපතිවරයා ලංකාවේ මෙතෙක් සිටි වෙනත් කිසිදු තානාපතිවරයකු නොකළ වැඩක්ද සිදුකළේය. ඒ, විපක්ෂ නායක කාර්යාලයට ගොස් විපක්ෂ නායකවරයා විසින් සිදුකරනු ලබන ‘විපක්ෂයෙන් හුස්මක්’ සුබසාධන වැඩසටහනට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පරිත්‍යාග කිරීමට පියවර ගැනීමය. ඒ හරහා චීනය මේ වන විට ආණ්ඩුවට කිසියම් තීරණාත්මක ඉඟියක් ලබාදී තිබේ. ඒ, මෙතෙක් කල් ගෙන ගිය රාජපක්ෂ හිතවාදී දේශපාලනය වෙනුවට ඉදිරියේදී ප්‍රේමදාසලා සමගද රාජකාරි කිරීමට චීනය සූදානම් බවය. ඉකුත් යහපාලන සමයේදී පවා එම ආණ්ඩුව සමග නිල වශයෙන් පමණක් ගනුදෙනු කරමින් රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒම සඳහා විශාල මෙහෙයක් සිදුකළ චීනය මෙවර එම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් විපක්ෂයට දේශපාලන හයියක් ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේද කිසියම් කතාබහක් මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට ඇත.

රාජ්‍ය රහස්- මව්රට