සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

සෞභාග්‍යයේ ආණ්ඩුව ජනතාව මත යළිත් වතාවක් තෙල් මිළ වැඩි කරමින් ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇත. ලෝක වෙළදපොලේ තෙල් මිල පහතට වැටි ඇති මොහොතක තෙල් මිල ඉහළට දැමීම තුළ ආණ්ඩුවේ ආදායම ඉහළට ගැනීමමට දරන උත්සාහය නිර්ලජ්ජිත කරුණකි. තෙල් මිල ඉහළ දැමීමට ආණ්ඩුව ගෙන හැර පාන කරුණ අතිශය පිළිකුල් සහගතය.ඩොලර් හිගය නිසා තෙල් ආනයනය සිමා කිරීමට තෙල් පරිභෝජනය අඩු කිරීමට මෙමඟින් අපේක්ෂා කරන බව රජය කියා සිටී.

ඒ සඳහා මුදල් අමාත්‍යංශයට උපදෙස් දි ඇත්තේ මහ බැංකු අධිපතිවරයායි තෙල් මිල වැඩි කිරිමට සෘජුව වගකිවයුතු මුදල් ඇමතිවරයා මේ මොහොතේ රටේද නොමැත. මෙයට පෙර තෙල් මිල ඉහළ ගිය මොහොතේ බලශක්ති අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට ලිපි ලියූ පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා මේ මොහොතේ ගන්නා පියවර රටට හෙළි කළ යුතුය. එම මොහොතේ එයට විරෝධය පල කල පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තම මතයද රටට කිව යුතු වේ.

ජනතාව නින්දට වැටෙන මහ රෑ ගිවිසුම් අත්සන් කිරීම භාණ්ඩ මිළ ඉහළ දැමීම ආණ්ඩුවේ නවතම ක්‍රියා පිළිවෙතයි. තෙල් මිල ඉහළ යන විට, මිල ඉහළට දමන්නටත් පහළට යන විට, මිල පහළ දමන්නටත් ආණ්ඩු කුමටදැයි ප්‍රශ්න කළ ඇමතිවරුන් අද කසාය බී ගොළුවන් සේ කටයුතු කිරීම ජනතාවට කරනු ලබන අපහාසයකි.

කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා මංගල සමරවිර ඇමතිතුමාගේ මිල සුත්තරය ඇගයීමත් එයට කළ අපහාස උපහාස ගැන කණගාටුවීමත් දෛවයේ සරදමකි. මේ ආණ්ඩුව බලය ලබා ගැනීමට සිදු ක⁣ළ හැම කාර්යක් තුළම සිදු වුයේ සත්‍ය අසත්‍ය කිරීමයි. අද එනිසා රට පත්ව ඇති තත්වය ඛේදනීය වේ.

අත්‍යවශ්‍ය ආහාර පාන මිළ පවා දරා ගත නොහැකි තරම් ඉහළට ගොස් ඇති මේ මොහොතේ තෙල් මිල වැඩි කිරීම වහාම අත් හිටුවා ජනතාවට සහනයක් සලසන ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවට බලකර සිටිමු. ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දුව ලෙසම ලෝක වෙළදපොළ අනුව මිල වැඩි කරන අඩු කරන ආණ්ඩුවක් නොවන බව පෙන්වා දෙන ලෙසට අභියෝග කරමු.