කුමන බාධක දැමුවද අද පස්වරුව වනවිට ලක්ෂ ගණනින් ජනතාව කොළඹ නගරයට පැමිණෙන බව සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා පවසනවා. ජනතාවට සහන‌ නොදී ජනතාව දිනපතා පෝලිම්වල රස්තියාදු කර ජනතාවට පාරට දමා, දැන් පොලීසිය යොදවා ජනතා විරෝධය මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවද ඔහු පවසනවා.

සමගි ජන බලවේගය සංවිධානය කරන උද්ගෝෂණය සඳහා සහභාගිවීමට කොළඹ බලා පැමිණෙමින් සිටින පාක්ෂිකයන් ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමේදී ආපසු හරවා යැවීමට පොලීසිය කටයුතු කර තිබිණි. එහිදී රෙහාන් ජයවික්‍රම මහතා පොලීසියට දැඩි විරෝධය පළකළ අතර ඔහු සඳහන් කළේ පයින් හෝ තම පාක්ෂිකයන් සමග කොළඹට ගමන් කරන බවයි.

ජනතාව කොළඹට පැමිණීමට පෙරම ආණ්ඩුව බියට පත්ව සිටින බවත්, බියට පත් වූ ආණ්ඩුව ජනතා විරෝධය මර්දනය කිරීම සඳහා පොලීසිය භාවිතා කරන ආකාරය පිළිබඳව ලැජ්ජාවට පත්විය යුතු බවත් ජයවික්‍රම මහතා සඳහන් කරනවා.