මෙවර මහ මැතිවරණයේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයාට මුක්කු ගැසීම සඳහා පාර්ලිමේන්තුවක් පත් නොකළ යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් අද (31) දින සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියා.

”විධායක බලය හිමි කරගත් අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ජාතික ජන බලවේගය මේ වන විට තර්කයක් ගෙනැවිත් තිබෙනවා ජනාධිපති ධුරය ශක්තිමත් කරන්න පාර්ලිමේන්තු බලය ඔවුන්ට ලබා දෙන්න කියලා. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරනවා ඔවුන් සතුව මනාප පොරයක් නැහැ කියලා. පක්ෂ යාන්ත්‍රණය තුළින් පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු පත් කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුව කියන්නේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානම ස්ථානය. ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නැහැ පක්ෂ , මධ්‍යම කාරක සභා , දේශපාලන මණ්ඩල වැනි දේවල් පාර්ලිමේන්තුවට ඉහළින් තිබෙනවා කියලා. පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ සුජාත නියෝජිත ආයතනය. ජනාධිපතිවරයා කියන්නෙත් එවැනි නියෝජිතවරයෙක්. රටේ ජනාධිපතිවරයා පත්කරන්නේ වෙනමම මැතිවරණයකින්. පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු පත් කරන්නේ වෙනමම මැතිවරණයකින්. විධායක ජනාධිපතිවරයාට අඩයක් ලෙස පාර්ලිමේන්තුව ගෙන ඒම කියන තර්කය දේශපාලනික වශයෙන් වැරදි තර්කයක්”

විවිධ අලංකාර වාක්‍යය ප්‍රකාශ කරමින් රටේ බලය ලබා ගත් ජාතික ජන බලවේගයට තවමත් රට තුළ තිබෙන අර්බුදවලට විසඳුම් ලබාදීමට නොහැකි වී තිබෙන බව එතුමා එහිදී වැඩිදුරටත් කියා සිටියා.