එළඹෙන මැතිවරණය සමාන කළ හැක්කේ පසුගිය 2004 මැතිවරණයට බව සඳහන් කරමින් අද (28) අම්පාර පැවති විජයග්‍රාහී ජන රැළිය අමතමින් ඩලස් අලහප්පෙරැම මහතා සඳහන් කර සිටියේ 2004 වසරේ ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළා නම් මේ වන විට ශ්‍රී ලංකාව 192 වැනි ඊලාම් රාජ්‍ය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සටහන් වීම වලක්වාගත නොහැකි බවත් තවදුරටත් ශ්‍රී ලංකාව නමින් රාජ්‍යක් තවදුරටත් අවශ්‍යද යන තීරණය එළඹෙන 21 වැනිදා ගත යුතුව තිබෙන තීරණයක් බවයි.

අලහප්පෙරුම මහතා මෙහිදී අවධාරණය කරමින් කියා සිටයේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන සන්ධානය පිහිටුවන ආණ්ඩුවක් තුලින් සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාටම සතුටෙන් ජීවත් විය හැකි ශ්‍රී ලාංකීය රාජ්‍යක් පිහිටුවීමට අවශ්‍ය බවත් ඒ සඳහා අතිවිශාල වරමකින් මේ රටේ නායකයා විදිහට සජිත් ප්‍රේමදාස මහතා පත් කරගන්න ලෙස ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින බවත්ය.

“මේ තීරණාත්මක මැතිවරණ මොහොත රාජ්‍ය නායකයා තෝරන මැතිවරණය විතරක් නෙමෙයි. ඉතිහාසය සමාන වෙන්නේ 6 වැනි විධායක ජනාධිපතිවරයා තෝරගන්න 2004 පවත්වපු මැතිවරණයට විතරයි. සියයට 50.3මහින්ද රාජපක්ෂ මහත්තයට හම්බවුණේ. 2004 රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනා නම් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 192 වැනි රට ඊළාම් දේශය කියලා එකස්ත් ජාතීන්ගේ සංවිධානයේ සටහන් වෙන එක වළක්වන්න බැහැ. ඒකෙන් බේරැණේ රනිල් වික්‍රමසිංහ පරාජයට පත්වූ නිසා.

මේ සැප්තැම්බර් 21 වැනිදා එවැනි මැතිවරණයක් තිබෙන්නේ. ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂා කර ගන්නවද? තවදුරටත් ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක් අවශ්‍යද කියන එක තමයි 21 වැනිදා ගන්න තියෙන්නේ. අන්න ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා වටා ඉතිහාසයේ ලොකුම සන්ධානය ගොඩ නැගිලා තියෙන්නේ.

දිගාමඩුල්ලේ වීරෝධාර ජනතාව මේ අනතුර තේරැම් අරගෙන පක්ෂ, ආගම්, ජාති විදිහට බෙදෙන්නේ නැතිව රටක් හැටියට එකතු වෙන්න. සමගි ජනසන්ධානයේ දොර සැලුන් දොරක් නොවන බවත්, ඕනෑම හොරෙකුට, වංචනිකායකුට, දූෂිතයන්ට හිතෙන වේලාවට එන්නයි, හිතෙන වේලාවට යන්නයි සමගි ජනනසන්ධානයේ දොර සැලුන් දොරක් වගේ ඇරෙන්නේ නෑ.

ඉතිහාසයේ කවරදාකවත් නොකරපු විදිහට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනවා. තමන්ගේ දරැවන්ගේ අනාගතය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය කඩා වැටිලා විරැකියාව ඉහළට ගිහිල්ලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සන්ධානය මේක තේරැම් අරගෙන තමයි ප්‍රතිපත්ති ප්‍රකාශය නිර්මාණය කරලා තියෙන්නේ.‍
මේ වකවානුවේ මැතිවරණ වේදිකා වල තොග වශයෙන් පොරොන්දු දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ පෙරේදා කියනවා රජයේ සේවකයන්ට රැපියල් 25000 ක් වැටුප් දෙනවා කියලා. ඇයි මෙහෙම මිනිස්සු රවටන්නේ. මම අද රාජ්‍ය සේවකයන්ට කියනවා ජනාධිපතිවරණය යටතේ රනිල් වික්‍රමසිංහට රාජ්‍ය පවතින්නෙත් නෑ. රාජ්‍ය සේවයකුත් නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට 3 වෙනි 4 වෙනි ස්ථානය රැකගන්න සටන් කරන්න වෙනවා.

සජිත් ප්‍රේමදාස මැතිතුමා ජාතික රාජ්‍ය හදන සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාටම සතුටෙන් ජීවත් විය හැකි ශ්‍රී ලාංකීය රාජ්‍ය හදන නායකයා විදිහට එතුමා අතිවිශාල වරමකින් මේ රටේ නායකයා විදිහට පත් කර ගන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා”