සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන රජයක් තුළින් වී වලට සහතික මිලක් ලබාදෙන බවත් ගොවින්ට හුස්ම ගන්න පුලුවන් ආර්ථිකයක් නිර්මාණය කරන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (25) පොලොන්නරුව විජයග්‍රාහී ජන රැළිය අමතමින් පැවසීය.

රටේ මේ වන විට සහල් මිල තීරණය කරන්නෙත්, මොන සහල්ද වගා කළ යුත්තේ යන්න පිළිබඳව තීරණය කරන්නෙත් මුදලාලිලා කිහිපදෙනෙක් බවත් වත්මන් රජය ආණ්ඩුවට ගොවීන්ව සම්පුර්ණයෙන් අමතක වී තිබෙන බවත් මෙහිදී හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.

උද්ඝෝෂණ පමණක් තම එකම ප්‍රතිපත්තිය කරගත් ජනතා විමුක්ති පෙරමුණ ගොවීන් ඉතාමත් අපහසුතාවයට පත්ව තිබෙන වත්මන් වත්වරණය හමුවේ ගොවීන් වෙනුවෙන් කිසිඳු ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකළ බව ප්‍රකාශ කරමින් හර්ෂද සිල්වා මහතා මෙම රැලියේදී චෝදනා කරයි.

අද පොලොන්නරුව විජයග්‍රාහී ජන රැළිය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

‘‘සජිත් ප්‍රේමදාස පැනලා ගියා ඒ නිසා මට රට භාරගන්න සිද්ධ වුණා කියලා රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කරනවා.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා , ඉරාන් වික්‍රමරත්න මහතා , කබිර් හෂිම් මහතා සහ මම තමයි ගෝඨාභය රාජපක්ෂ මුණ ගැහෙන්න ගියා. ගෝඨාභය රාජපක්ෂ සමඟ රමේෂ් පතිරණ මහතා සහ නාලක ගොඩහේවා මහතා සිටියා.

රටේ පවතින අර්බුදය වළක්වාගෙන රට ඉදිරියට ගෙනියන්න නම් කළ යුතු දේවල් පිළිබඳව නීති සංගමය කොන්දේසි 4 ක් ඉදිරිපත් කරලා තිබුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ යුතුයි , ජනාධිපතික්‍රමය අහෝසි කළ යුතුයි , ගෝඨාභය රාජපක්ෂ ඉවත්වන දවස ගැන සාකච්ඡා කළ යුතුයි , පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන කොන්දේසි 4 පිළිබඳව අපි ගෝඨාභය රාජපක්ෂ සමඟ කතා කළා.

ඉන්පසුව මේ කොන්දේසි සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ධනාත්මක පිලිතුරක් දුන් පසුව සජිත් ප්‍රේමදාස මහතා අගමැතිධුරය භාර ගන්නා බවට වල ලිපිය යොමු කරලා තිබුණ අවස්ථාවේදී තමයි රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු කොන්දේසියක් නැතිව අගැමැතිධූරය භාර ගන්නේ.

ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා අර්බුදය පැවැති අවස්ථාවේ රට භාරගන්න ඉදිරිපත් වුණේ නැ කියලා කියන්න එපා.

ඒ වගේම මාස තුන හතරකට කලින් කිරි සම්බා තිබුණේ 140 ත් 150 ත් අතර නමුත් අද වනවිට කිරි සම්බා 100 ටවත් කිරි සම්බා විකුණන්න බෑ. ගොවින්ට කිරි සම්බා වගා කරන්න කියලා පොලොන්නරුවේ වී මෝල් හිමියන් ප්‍රකාශ කළා. ඒ අනුව අහිංසක ගොවීන් කිරි සම්බා වගා කරලා දැන අන්ත අරසණ තත්ත්වයට පත් වෙලා සිටිනවා.

ඒ වගේම ගොවීන් අස්වැන්න නෙලා ගත්ත පසුව සියලුම කෘෂිකර්මාන්තයට අයත් භාණ්ඩ උකස් කරනවා. ඒ වගේම ගොවීන් භාවිතා කරන උදලු තලයට පවා බදු ගහන්න ආණ්ඩුව කටයුතු කළා. සාමාන්‍ය ගොවීයා සහ කුඩා පරිමාන වී මෝල් හිමියන් නැත්තටම නැති කරලා විශාල වී මෝල් හිමියන් කිහිපදෙනෙකුගේ අයිතියට සහල් කර්මාන්තය භාර දෙන්න තමයි රජය කටයුතු කරන්නේ.

ඒ වගේම රටේ සහල් මිල තීරණය කරන්නේ කිහිපදෙනෙක් , මොන සහල්ද වගා කළ යුත්තේ කියලා තීරණය කරන්නෙත් කිහිපදෙනෙක් , ජනතාව සහල් ලබාගන්න මිල තිරණය කරන්නෙත් කිහිපදෙනෙක්. ආණ්ඩුවට ගොවීන්ව සම්පුර්ණයෙන් අමතක වෙලා තිබෙනවා.

වී මිල අඩුවුණ ගමන් ජනතා විමුක්ති පෙරමුණේ පිරිස උද්ඝෝෂණය කරනවා. නමුත් අද ඔවුන්ගේ ඒ උද්ඝෝෂණ දකින්න ලැබෙන්නේ නෑ. අද වී මිල පහළ බැහැලා තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ එක නායකයෙක් ගොවීන් වෙනුවෙන් කතා කළේ නෑ.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන රජයක් තුළින් වී වලට සහතික මිලක් ලබාදීලා ගොවින්ට හුස්ම ගන්න පුලුවන් ආර්ථිකයක් නිර්මාණය කරනවා.
අපි කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මත පළ කළේ දත්ත කේන්ද්‍රීයව විශ්ලේෂණය කරලා. අපි ගොවීන්ගේ ප්‍රශ්න තේරුම් අරගෙන තමයි සාකච්ඡා කළේ.

ඒ වගේම සුඛෝපභෝගි වාහානවල යන පිරිසට අඩු මිලට තෙල් ලබාදිය යුතු නෑ. අඩු මිලට ඉන්ධන ලබාදෙන්න ඕන රටේ දුප්පත් ජනතාවට. කිව් ආර් ක්‍රමවේදයට අනුව ගොවී ජනතාවට අඩු මිලට ඉන්ධන ලබාදෙන්න සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන රජයක් තුළින් පියවර ගන්නවා. ඒ වගේම කෘෂිකර්ම උපකරණවලට වැට් බද්ද ඉවත් කරන්න අපේ රජයක් තුළින් කටයුතු කරනවා.

ඒ වගේම ශක්ති සහල් ව්‍යාපාරය ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව වහලා දැම්මා. නමුත් ශක්ති සහල් ව්‍යාපාරය නැවත ආරම්භ කරලා එම ව්‍යාපාරයට කිසිදු දේශපාලන බලපෑමක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ”