මෙතෙක් කල් පැවති රාජ්‍ය සේවකයින් මුලා කරන, බොරු පොරොන්දු ලබාදෙන දේශපාලනය වෙනුවට රටට ගෞරවනීය රාජ්‍ය සේවකයෙක් බිහිකිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පැහැදිලි සැලසුම් මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය විසින් සංවිධානය අද (23) දින සංවිධානය කර තිබූ වරකාපොළ ජන රැළිය අමතමින් මෙම පැහැදිලි සැලසුම් මාලාව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ අතර එතුමා සඳහන් කර සිටියේ සැප්තැම්බර් 21 ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු නියත වශයෙන්ම මෙම සැලසුම් මාලාව ක්‍රියාවට නංවන බවයි. තවත් ජන රැළියක් අද (23) වරකාපොළදී පැවැත්විණි.

රාජ්‍ය සේවය අවම කළ යුතුයි, රාජ්‍ය සේවය රටට බරක් කියූ උදවිය අද වනවිට සීනි බෝල පොරොන්දු දෙන බව සඳහන් කළ විපක්ෂනායකවරයා කියා සිටියේ ජනතාවට ලබාදෙන පොරොන්දු ක්‍රියාවට පරිවර්ථනය කරන්න සැදී පැහැදි සිටින බවයි.

එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපෙක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,

‘‘වර්තමාන ආණ්ඩුව රාජ්‍ය නිලධාරින්ව සැලකුවේ රටට බරක් ලෙස. රටට පාඩුවක් ලෙස. නමුත් හදිසියේම රාජ්‍ය නිලධාරීන් වැදගත් වෙලා තිබෙනවා. තමන්ගේ තැන රැක ගැනීමට සීනි බෝල දේශපාලනය දියත් කරලා රාජ්‍ය සේවයේ නිලධාරීන් මුලා කිරීමේ සීනි බෝල දේශපාලන වර්තමන රජය ක්‍රියාත්මක කරනවා.

රාජ්‍ය සේවය අවම කළ යුතුයි, රාජ්‍ය සේවය රටට බරක්, එහෙම කියපු උදවිය අද වනවිට සීනි බෝල බොරු ව්‍යාපෘතියක නිරත වෙලා සිටිනවා. අපි ලබාදෙන්නේ බොරු පොරොන්දු නෙවෙයි. අපි ජනතාවට ලබාදෙන පොරොන්දු ක්‍රියාවට පරිවර්ථනය කරන්න සැදී පැහැදි සිටිනවා.

රජය ක්‍රියාත්මක කරන බොරු පොරොන්දු වෙනුවට අපි අපේ සැලැස්ම ඉදිරිපත් කරනවා. සැප්තැම්බර් 21 වැනිදාට රටේ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන යුගය බිහි කරන අවස්ථාවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ජිවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය කිරීමට අනිවාර්යෙන් කටයුතු කරනවා. ඒ සඳහා විශේෂ කොමිසමක් පත්කොට ඒ කොමිසන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් අනිවාර්යෙන් කැප වෙනවා.

ඒ වගේම 2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ගේ මුලික වැටුප සියයට 24 කින් ඉහළ දමන බව ප්‍රකාශ කරනවා. ඒ වගේම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ජිවන වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩිකරන්න කටයුතු කරනවා. සියලුම රාජ්‍ය සේවකයන්ට දීමනා සහිතව අවම වැටපු ලෙස රුපියල් 57,500 ක වැටුපක් ලබාදෙන්න කටයුතු කරනවා.

දැනට පවතින බදු ප්‍රතිපත්තිය තුළ රාජ්‍ය සේවකයා ප්‍රමුඛ මේ රටේ වැඩකරන පන්තියට විශාල අගතියක් සිදුවෙනවා. රාජ්‍ය සේවයේ නිරත වන විශාල ප්‍රමාණයකට මාසික වැටුප මත තිබෙන බදු නිදහස් සීමාව එලෙසම පවත්වාගෙන සියයට 6 සිට සියයට 36 දක්වා ගෙවන බදු ප්‍රතිශතය සියයට 1 සිට 24 දක්වා අඩු කරන්න කටයුතු කරනවා.

රාජ්‍ය සේවකයාට මාසික වැටුප පමණයි ලැබෙන්නේ. අමතර ආදායම් මාර්ග නෑ. ඒ නිසා වැටුපෙන් වැඩි කොටසක් බදු වලට කැපෙනකොට ප්‍රසස්ත රාජ්‍ය සේවාවක නිරතවීමට නොහැකියි. එවැති තත්ත්වයක් තුළ මුලික වැටුප සියයට 24 කින් වැඩි කිරිම, ජිවින වියදම් දිමනාව වැඩි කිරීම, අවම වැටුප 57,500 ක් කිරීම, දැනට ක්‍රියාත්මක බදු නිදහස් සිමාව පත්වාගෙන බදු ප්‍රතිශතය අඩුකරන්න කටයුතු කරනවා.

ඒ වගේම නුතනවාදි රාජ්‍ය සේවයක් නිර්මාණය කරනවා. ඊ ශ්‍රී ලංකා වැඩසටහන තුළ , ඊ රාජ්‍ය වැඩසහටන තුළ තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගත් සුහුරු රාජ්‍ය සේවයක් ඇතිකරනවා. රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය ඉහළ නංවන්න කටයුතු කරනවා. රාජ්‍ය සේවකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහ ආරක්ෂාවට වැඩපිළිවෙළක් සකස් කරනවා. මා මේ ඉදිරිපත් කලේ පොරොන්දු මාලාවක් නොවේ රට ගොඩනගන සැලැස්මේ රාජ්‍ය සේවය වෙනුවෙන් ඉටු කරන වැදගත් පියවරක්.

ඒ වගේම ගම්වල , මංසන්ධිවල තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා සංගණනය කරන යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ගමක් තුළ බුදු මැදුරක් ඉදි කරන්න වෙනමම අවසරයක් ආණ්ඩුවෙන් සිද්ධ වෙන තත්ත්වයක් තමයි මේ හරහා නිර්මාණය වෙන්නේ. නිරාගමික ජන සමාජයක් රට තුළ නිර්මාණය කරන්න තමයි මේ රජය උත්සහ කරන්නේ. බෞද්ධ ආගමට අදාල වී තිබෙන මේ නියෝගය අනෙකුත් ආගම්වලටත් ක්‍රියාත්මක වෙයි. ජනතාව විශ්වාස කරන ආගමක් ඇදහීමට තිබෙන අයිතිය රජය විසින් නැති කරන්නයි මේ උත්සහ කරන්නේ. ඒ අයිතිය නැති කරන්න පටන් ගන්නේ බෞද්ධ ආගමෙන්. අපේ රටේ ජනතාව ආගම් විරහිරත ජන සමාජයක් බවට පත් කරන්න රජය උත්සහ කරන්නේ. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිලධාරීන් මේ නියෝගය ක්‍රියාත්මක කළොත් සැප්තැම්බර් 21 වැනිදා පොදුජන යුගය නිර්මාණය කරනවිට මේ රටේ ජනතාවට තමන් විශ්වාස කරන ඕනෑම ආගමක් ඇදහීමට අවස්ථාව අපි ලබාදෙනවා.

ඒ වගේම අපනයන බෝගවලට වගා වලට කිසිම ශක්තියක් ලැබෙන්නේ නෑ. වගාවන්වලට සතුන්ගෙන් සිදුවන හානිවලට කිසිදු රාජ්‍ය මැදිහත්විමක් නෑ. රක්ෂණ වැඩපිළිවෙළක් නෑ. වී වගාවට අවශ්‍ය පොහොර , උපදෙස් නිසියාකාරව ලැබෙන්නේ නෑ. කෘෂිකර්මාන්තය සුහුරු කෘෂිකර්මාන්තයක් කරන්න සමගි ජන සන්ධාන රජයක් තුළින් කටයුතු කරනවා”

සජිත් ප්‍රේමදාස