එළඹෙන ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය කිරීමේ කිසිඳු හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් රනිල් වික්‍රමසිංහට ලැජ්ජාවට පත්විමට සිදුවන බවත් ප්‍රකාශ කරමින් එළඹෙන ජනාධිපතිවරණයෙන් ඔහුට ඉවත් වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් රැසක් ප්‍රකාශ කර තිබෙන බවත් මුලින්ම මැතිවරණ කොමිෂන් සභාවට ගොස් ඇප මුදල් තැන්පත් කළ පමණින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ස්ථිර නොවන බවත් සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ රාත්‍රියේ පැවති දේශපාලන වැඩසටහනකට සහබාගී වෙමින් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය සඳහා සහය නොදැක්වීමට ගත් තීරණයත් සමඟ “රනිල් රාජපක්ෂ” යන නම වලංගු වනවාද ? යනුවෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින් බණ්ඩාර මහතා කියා සිටියේ රට මෙවැනි අගාධයකට ඇද දැමූ රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද, නිමල් ලන්සා ආධී රාජපක්ෂ කල්ලිය මේ වන විටත් රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කර තිබෙන බවත් චෞර රාජපක්ෂවරයෙකු වීමට රාජපක්ෂ නම තිබීම අනිවාර්ය නොවන බවත්ය.

එතුමා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මේ වන විට රට මෙවැනි තත්වයකට ඇද දැමූ පිරිස සමඟම නැවත වතාවක් එකතු වී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයට තවමත් ගරුකරන සුළු පාක්ෂිකයින් පිරිසට පවා සමගි ජන බලවේගය සමඟ එකතු වී රට හදන වැඩපිළිවෙලට දායකත්වය දැක්විය හැකි බවයි.