මේ ගංවතුර සෑම වසරකම සිදුවන නිසා මේ සඳහා තිරසර විසඳුමක් අවශ්‍ය බවත් ඒ සඳහා රක්ෂිත රැක ගැනීමේ වැඩපිළිවෙළකට යාම මෙන්ම මේ ජලය ඉවත් කරන පොම්පාගාර ඇති කිරිමට කටයුතු කළ යුතු බවත් ඊට අමතරව ඒකාබද්ධ සැලසුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අවිධිමත් ආකාරයට විසඳුම් ලබා දෙනවා වෙනුවට සාර්ව ලෙස සිතා බලා මෙම ගැටලුවට විසඳුම් ලබා දිය යුතු බවත් මෙම විසඳුම් ලබා දීමේ දී සමහර අයට අවාසිදායක දේවල් සිදු විය හැකි වුවත් ඔවුන්ට ද සහන සලසා වාර්ෂිකව මුහුණ දෙන මේ ගංවතුර තත්ත්වයෙන් මිදිය යුතු බවත් පැලැස්තර විසඳුම් ලබා දෙනවා වෙනුවට දීර්ඝ කාලීන විසඳුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජයත් පරණ චක්‍රලේඛනවලට යටවී සොච්චම් සහනාධාර ලබා නොදී ජනතාවට ප්‍රතිඵලදායී සහනයක් ලබා දීමට මැදිහත්විය යුතු බවත් තමා ඇතුළු පිරිස විවිධ තැරැව්කාරයන්ගේ වහලුන් නොවන බවත් ඩීල්වලින් දූෂණයෙන් තොරව කටයුතු කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ අධික ගංවතුරින් විපතට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදේශයට පැමිණියේය.

කැලණි ගඟ පිටාර ගැලීම නිසා මෙම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් අගතියට පත්ව ඇති අතර එහි දී ඔවුන්ගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.