මීට දින කිහිපයකට පෙර අසර්බයිජානයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍යවරයා වන ආචාර්ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සහ සහ තවත් රාජ්‍ය නිලධාරීන් 8 දෙනා වෙනුවෙන් සිය සාතිශය සංවේගය පළ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කටයුතු කළේය. ඒ අද ඉරාන තානාපති කාර්යාලයේ දී ඉරානා තානාපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව ය.

මේ හදීසි අනතුරු සහ අභාවය අසා තමා ඉමහත් කම්පනයට පත් වූ බවත් ඉරාන ජනාධිපතිවරයාගේ මේ අනපේක්ෂිත අභාවය ශ්‍රී ලංකාවට සහ අප කලාපයට විශාල පාඩුවක් වූ බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් පැවසීය. එසේ ම ඉරාන ජනාධිපතිවරයා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසකට ආධාර උපකාර ලබා දුන් බවත් ඒවා කිසිදා අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉරාන තානාපතිවරයා හමු⁣වේ පැවසීය.