අප රටේ ජනතාව එක් එක් කාලවල එක් එක් අයට ඡන්දය හා රටේ නායකකම ලබා දී අත්හදාබැලීම් සිදු කළත් මෙවර ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයෙන් තොරව කිසිදු බියකින් තොරව තමා සහ සමගි ජන බලවේගය තෝරා ගන්නා ලෙසට ඉල්ලා සිටින බවත් පොදුජනතාවගේ සේවකයා ලෙස තමා විපක්ෂයේ සිට මෙරට ඉතිහාසයේ දැවැන්තම වැඩ කොටස ඉටු කර ඇති බවත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරටට අවශ්‍ය වැඩ කරන නායකයන් හා කණ්ඩායම් බවත් කයිය නායකයන්ගෙන් හා කයිවාරු කණ්ඩායම්වලින් රටට වැඩක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කියා සිටියේ කයිය නායකයෝ සමඟ ඕන ම අවස්ථාවක විවාදයට සුදානම් බවත් මේ වන විට එම විවාද 2කටම සමගි ජන බලවේගය දින ලබා දී ඇති බවත් ය.

Sajith Premadasa

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (19) හම්බන්තොට අම්බලන්තොට බස් නැවතුම්පොළ අසළ පැවැති සමගි ජන බලවේග ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි.

විවාදවලට මෙන් ම තරගයට රටට වැඩක් කරන්න එන ලෙස ඕනෑ ම පාර්ශ්වයකට අභියෝග කරන බවත් ඉන් ජය ගන්නේ ද තමා සහ තමාගේ කණ්ඩායම බවට ස්ථිර වශයෙන්ම කිව හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

රටට පෙනුම නෙවෙයි වැදගත් වැඩයි

අවි අමෝරා ගත් මහා නපුරු පෙනුමක් මවා ගත්තම කයිය නායකයොන්ට බිය විය යුතු යැයි සිතුවත් තමා ඇතුළු පිරිස ඔවුන්ට බය නැති බවත් මේ මොහොතේ රටට අවශ්‍ය පෙනුම හෝ මායම හෝ ඇන්දවිල්ල නොවන බවත් මේ රටේ ජනතාව අපේක්ෂාවෙන් සිටින්නේ ගරා වැටුණු කඩා වැටුණු ලක්ෂ 220කගේ ජන ජීවිත කවුද දුකින් මුදවා ගන්නේ කියා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගර්භනී මව, කුඩා දරුවා, තරුණයා, වැඩිහිටියා දක්වා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ලක්ෂ 220 ගොඩගන්න තමා කටයුතු කර ඇති බවත් තමා බලයක් නොමැතිව විපක්ෂයේ සිට සුවිශාල සේවයක් කර ඇති බවත් හුස්ම සහ සක්වල වැඩසටහන් එයට සාක්ෂි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

කයිවාරු ඕන නෑ. රට ගොඩගන්න හැටි කරලම පෙන්වන්නම්

බංකොලොත් වූ අප රටට දැවැන්ත හයියක් දැවැන්ත මූල්‍ය ශක්තියක් සමගි ජන බලවේගය ලබා දෙන බවත් බංකොලොත් රටේ වැඩ කරන්නේ කොහොමද කියා කයිය නායකයෝ අහන බවත් ඔවුන්ට වැඩ පෙන්වන්න තමාට වරම ලබා දෙන ලෙසත් වැටී ඇති බංකොලොත්භාවයෙන් රට ගොඩගන්නා ආකාරය කරලම ඔප්පු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කයිවාරු අනවශ්‍යයි. වැඩ කරලා පෙන්වන්න

මේ අවස්ථාවේ එක් කණ්ඩායමක් බලය තියාගෙන කයිවාරු ගහන විට තවත් කණ්ඩායමක් විපක්ෂයේ පක්ෂවල සිට කයිය ගහන බවත් රටේ ජනතාව දුක් කම්කටොලු මැද ජිවත් වන අවස්ථාවක කයිය ගගහ ඉන්නවාට වඩා සමගි ජන බලවේගය මෙන් වැඩ කර පෙන්වන ලෙසත් මේ අවස්ථාවේ රටට ඇති එකම විකල්පය විසදුම උත්තරය සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.