පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ට සිය වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා ලබා දෙන පොලී රහිත ණය වැඩසටහන පසුගිය කාලයේ අත්හිටුවා තිබුණත් ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නැවතත් පාර්ලිමේන්තුවේ අවදානය යොමු කළ අවස්ථාවේ එය ක්‍රියාත්මක කරන බව පැවසුවත් කේ.අයි.යූ. සහ හොරයිසන් යන පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ට හිමිවිය යුතු එම ණය පහසුකම තවමත් නොලැබී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ණය ලබා දීම සදහා වන අනුමැතියට මහබැංකුවට යවා ඇති බවට ආරංචි වන බවත් ඒ සදහා විසදුම් ලබා දුන්නත් එය තවමත් ක්‍රියාත්මක නොවන බවත් මේ වන විට අදාළ පාඨමාලාව ආරම්භ වී ඇතත් මෙම ණය ලබා නොදී ඇති නිසා කඩිනමින් එම ණය පහසුකම ලබා දෙන ලෙසත් මේ වන විට මෙම ණය පහසුකම ලබා නොදීම නිසා ඔවුන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් විමට අවස්ථාව ලබා නොදී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මහජන බැංකුව සහ ලංකා බැංකුව විසින් කෝටිපති ව්‍යාපාරිකයන්ට, වගකිවයුතු පුද්ගලයන් නොමැතිව අදාළ ණය ලබා දී මේ වන විට එම ණය කෝටි ගණනින් පැහැර ඇති මොහොතක ඔවුන්ට සහන ලබා දුන්නත් මෙම විශ්වවිද්‍යාල ද්විත්වයේ සිටින ඇතැම් සිසුන් ණය නොගෙවීම නිසා නවක සිසුන්ට ණය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම අනුමත කළ නොහැකි බවත් මෙය රජය සම්බන්ධ විශ්වාසනීයත්වය සම්බන්ධ ගැටලුවක් බැවින් මෙය වහාම අදම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.

ජනාධිපතිගේ, ඇමතිවරුන්ගේ සහ මහබැංකුවේ නියෝග මෙම බැංකු නොසලකා හරිනවා නම් එම රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.