තනි පුද්ගලයෙකුට රට ගොඩ ගැනීමට නොහැකි බවත් රටේ නායකයා බවට පත්වන පුද්ගලයාට නිවැරදි ආර්ථික සහ පරිපාලන දැක්මක් තිබිය යුතු බවත් එවැනි නායකයෙකු ලෙස නම් කළ හැක්කේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු බලය ලබාගැනීම සඳහා ජනතාව උකසට තැබුවේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.

අද(04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව පැවැසීය.

නලින් බණ්ඩාර

සජිත් ප්‍රේමදාස මහතාට රට ගොඩගැනීම සඳහා නිවැරදි වැඩපිළිවෙලක් තිබෙන බවත් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සමඟ දක්ෂ කණ්ඩායමක් සිටින බවත් නලින් බණ්ඩාර මහතා කීය.

සමගි ජනබලවේගයට පැමිණිමට සිටි දැවැත්ත දේශපාලන නායකයන් කිහිපදෙනෙකුගේ නම් පක්ෂය විසින් ප්‍රතික්ශේෂ කරලා තිබෙන බවත් ඔවුන් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිවලට ගැලපෙන්නේ නැති බවත් චෝදනා අවම , දූෂිතයෝ නොවන , ජාතිවාදි නොවන පිරිස් සමගි ජනබලවේගය සමඟ එකතු කර ගන්නා බවත් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යන්න පුලුවන් ප්‍රගතිශීලි පිරිස්වලට එකතු වන ලෙස ආරාධනා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජනසන්ධානය නිර්මාණය කරන රජයක් තුළ අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරන බවත් සමගි ජනබලවේගය සතුව නිවැරදි ආර්ථික දැක්මක් ඇති කණ්ඩායමක් සිටින බවත් ජනතාවට බරක් නොවන බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජනසන්ධාන රජයක් තුළින් කටයුතු කරන බවත් නලින් බණ්ඩාර මහතා පැවැසීය.

නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, 2024 කළු වර්ශය ආලෝකමත් කිරීමට නම් වර්තමාන රජය පන්නා දැමිය යුතු බවත් වර්තමාන ආණ්ඩුව පාලනය කරන්නේ රට බංකොලොත් කරපු කණ්ඩායමක් බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බංකොලොත් කළ කණ්ඩායමට ශක්තියක් වී ඇති බවත් එම ශක්තිය රටේ ජනතාවට ලැබී නැති බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘රනිල් රාජපක්ෂ ආණ්ඩුව වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට අමතරව වැට් බද්ද අය නොකළ කාණ්ඩ 97 කට අයත් අත්‍යාවශ්‍ය භාණ්ඩවලට සියයට 18 ක වැට් බද්ද එකතු කිරීම හරහා 2024 දී රටේ ජනතාවට දැඩි අපහසුතාවයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ සේවය කරන පිරිස් සහ දෛනික රැකියාවල නිරත පිරිස ඇතුළු සමස්ථ රටේ ජනතාව වැට් බද්ද වැඩි කිරිම නිසා කබලෙන් ලිප් බොක්කටම වැටිලා තිබෙන්නේ.

2024 කළු වර්ශය ආලෝකමත් කරන්න වර්තමාන රජය පන්නා දැමිය යුතුයි. ඒ හැර වෙන විපක්පයක් නෑ. වර්තමාන ආණ්ඩුව පාලනය කරන්නේ රට බංකොලොත් කරපු කණ්ඩායම. වෙනසකට වුණේ ඒ කණ්ඩායමට රනිල් වික්‍රමසිංහ එකතුවුණ එක විතරයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දුන්න හයියෙන් රට බංකොලොත් කරපු කණ්ඩායම අද ශක්තිමත් වෙලා තිබෙනවා. නමුත් ඒ ශක්තිය රටේ ජනතාවට ලැබිලා නෑ.

2024 වසරේ හරි තින්දුවක් ගත්තේ නැත්නම් රනිල් රාජපක්ෂ ආණ්ඩුව තව තවත් ශක්තිමත් වෙනවා. ඒ හරහා රටේ ජනතාව කබලෙන් ලිප් බොක්කටම වැටෙනවා. ගෝඨාභය වැනි වැරදි පුද්ගලයෙක් රටේ නායකයා ලෙස තොරා ගත්තොත් රට ගොඩගැනීමට නොහැකි තත්ත්වයකට පත්වෙනවා.

රට තනි පුද්ගලයෙකුට ගොඩ ගන්න බෑ. රටේ නායකයා වෙන පුද්ගලයාට නිවැරදි ආර්ථික දැක්මක් සහ නිවැරදි පරිපාලන දැක්මක් තියෙන්න ඕන. ඒ දැක්ම ක්‍රියාත්මක කරන්න පුලුවන් හොද කණ්ඩායමක් සිටිය යුතුයි. රටේ නායකයා වෙන පුද්ගලයාට රටේ ජනතාව ගැන ලෙන්ගතභාවයක් තියෙන්න ඕන. ඔහු ජනතාව වෙනුවෙන් කැපයෙන නායකයෙක් වෙන්න ඕන. එහෙම නායකයෙකුට ඉන්නේ එකම එක නායකයයි. ඒ සජිත් ප්‍රේමදාස පමණයි. ඔහු බලය ලබාගැනීම සඳහා ජනතාව උකසට තිබ්බේ නෑ. ඔහු හොරුන්ව ආරක්ෂා කරේ නෑ. හොරු වෙනුවෙන් පෙනී සිටියේ නෑ. ඔහු ප්‍රතිරූපය ගොඩනැගීම වෙනුවෙන් දේශපාලනය කළ පුද්ගලයෙක් නෙවෙයි. සජිත් ප්‍රේමදාසට රට ගොඩගැනීම සඳහා නිවැරදි වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සජිත් ප්‍රේමදාස සමඟ හොද කණ්ඩායමක් සිටිනවා. 2024 නිර්මාණය කරන පුළුල් සන්ධානය හරහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව රටේ ජනාධිපතිවරයා ලෙස පත් කරනවා.

අප්‍රේල් මාසයට පෙර මහ මැතිවරණයක් පැමිණීමට ඉඩකඩ තිබෙනවා. සමගි ජන බලවේගය මහ මැතිවරණය සඳහාත් ජනාධිපතිවරණය සඳහාත් සූදානම්. ඒ මැතිවරණ දෙකෙන්ම සමගි ජනබලවේගය අති විශිෂ්ඨ ජයක් ලබනවා. බිම් මට්ටමේ දැවැන්ත යාන්ත්‍රණයක් තිබෙන්නේ සමගි ජනබලවේගයට පමණයි.

සමගි ජනබලවේගයට පැමිණිමට සිටි දැවැත්ත දේශපාලන නායකයන් කිහිපදෙනෙකුගේ නම් ප්‍රතික්ශේෂ කරලා තිබෙනවා. ඒ ඔවුන් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිවලට ගැලපෙන්නේ නැති නිසා. සමගි ජනබලවේගය ඇතුළට ගන්නේ චෝදනා අවම , දූෂිතයෝ නොවන , ජාතිවාදි නොවන පිරිස්. සමගි ජනබලවේගය සමඟ එකතු වෙන පිරිසට සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති සමඟ එකතු වෙලා කටයුතු කරන්න සිදුවෙනවා. සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යන්න පුලුවන් ප්‍රගතිශීලි පිරිස්වලට එකතු වෙන්න පුලුවන්.

සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජනසන්ධානය නිර්මාණය කරන රජයක් තුළ අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරනවා. සමගි ජනබලවේගය සතුව හොද ආර්ථික කණ්ඩායමක් සිටිනවා. ජනතාවට බරක් නොවන බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.

ආචාර්ය හර්ෂ ද සිල්වා , ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් තමයි සමගි ජනබලවේග ආර්ථික කමිටුවේ ඉන්නේ. සමගි ජනබලවේගයේ ආර්ථික රාමුවෙන් එළියට ගිහින් අපි කටයුතු කරන්නේ නෑ. ඒ කමිටුව ඇවිත් නාලක ගොඩහේවාට වගේම අනෙකුත් ආර්ථිකය පිළිබඳ දැනීමක් ඇති පිරිසට යෝජනා ඉදිරිපත් කරන්න පුලුවන්. ‘‘

ඒ වගේම නව විදුලිබල පනතින් ලංකා විදුලි බල මණ්ඩලය කොටස් ගණනාවක කඩා දමා ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන්න උත්සහ කරනවා. සමගි ජනබලවේගය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධ නෑ. නමුත් සමගි ජනබලවේගය විදුලිබල ඇමැති කාංචන විජේසේකර සහ ජවිපෙ රංජන් ජයලාල්ලේ ගේන ප්‍රතිව්‍යුහගතකරණයටත් විරුද්ධයි. ජනතාවට ගැලපෙල විදුලිබල පනතක් ගෙන එනවානම් ඒ සඳහා සමගි ජනබලවේගය විරුද්ධ වෙන්නේ නෑ. අත්තනෝමතික ලෙස ගෙන එන විදුලිබල පනත්වලට සමගි ජනබලවේගය සහය ලබාදෙන්නේ නෑ.

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ සඳහා එක් වූ 28 දෙනෙක් අනිවාර්ය නිවාඩු යැවීමට නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කරලා තිබෙනවා. ආණ්ඩුව වෘත්තිය සමති සමඟ ගණුදෙනු කරන්නේ සාකච්ඡා මාර්ගයෙන් නෙවෙයි මර්දනාකාරී ප්‍රතිපත්ති අනුගමනය කරමින් තමයි රජය වෘත්තිය සමිති සමඟ ගණුදෙනු කරන්නේ. ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ විරෝධය පළ කරනවා.‘‘