ලංකා විදුලිබල මණ්ඩලය කෝටි දෙකක් ලාභ ලබමින් තිබියදී 18% කින් විදුලි බිල වැඩි කිරීම යුක්තිසහගත නොමැති බවත් විධායක ජනාධිපති වරයෙක් පලවා හැරපු ජනතාවක් වත්මන් ජනාධිපති කියන කියන ආකාරයට හැසිරෙමින් සිටීම ඇදහිය නොහැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද මාධ්‍ය අමතමින් පැවසීය.

සාමාන්‍ය පවුලක රු40000ක පමණ වැටුපක් ලබන ගෘහ මූලිකයෙකුට විදුලි බිල්, ජල බිල් ගෙවීමෙන් අනතුරුව එදිනෙදා ආහාර පාන ලබා ගැනීමට හෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මුදල් යෙදවීමට මුදලක් ඉතුරු නොවන බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිත් පිත් නැති ජනාධිපතිවරයකු රට පාලනය කරන බවත් නිර්පාක්ෂික ලෙස ඔහු පෙනී සිටියත් පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ වේදිකාව මත විහිලු සපයමින්, අනෙකුත් පක්ෂ හා පක්ෂ සාමාජිකයන්ට අපහාස කරමින් පක්ෂය නියෝජනය කරන බවත්ය.

2048 වසරේ මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන බව පැවසුවත්, තවමත් වත්මන් රජය තුළ කිසිදු වැඩපිළිවෙළක් දක්නට නොමැති බවත් 2048 වසරේ මේ රට සංවර්ධිත රටක් බවට පත්කිරීමට නම් වර්තමානයේ ජනතාව මුහුණපාමින් සිටින සියලු අර්බුදයන්ට ඔවුන්ද මුහුණදිය යුතු බවත්  එතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.