ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී කෙටුම්පතට හා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහා හකුලාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආණ්ඩුවට බලකර සිටී.

එම සංගමය පසුගිය (23) පැවති සාකච්ඡාවකදී ඒකමතිකව තීරණය කර ඇත්තේ, මෙම පනත් දෙක, මානව නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආදිපත්‍යයට දැඩි සේ බලපාන බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වී ඒකමතික ව මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති නීතීඥ කෞශල්‍ය නවරත්න පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු ක්ෂේත්‍රයට අදාළ පාර්ශවයන්ගේ කිසිඳු අදහස් විමසීමකින් තොරව, මෙම පනත් කෙට්මුපත් කර ඇති බවත් මෙම පනත් දෙකේම ඇති අන්තර්ගතයන් නීතිය බවට පත්වුවහොත්, සම්පූර්ණයෙන් මේ රටේ මහජනතාවගේ අයිතිවාසිකම් යටපත් කිරීමකට ලක්වන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ පනත් ඉදිරිපත් කිරීමට පෙර අදාළ ආයතනයන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකි දැනුම තියෙන සමාජ ක්‍රියාකාරීන් සහ සමාජයේ මේ සම්බන්ධයෙන් කථිකාවක් ඇති කර සමාජයට වැඩදායි වෙන ආකාරයෙන් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් මෙම පනත් ඉදිරිපත් කරන ලෙස රජයට බල කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.