- ඔබ මේ රටේ වාර්තා තියපු මුදල් ඇමතිවරයෙක්. වත්මන් ආර්ථික තත්වය ගැන මොකද හිතෙන්නෙ ?
ඇත්ත වශයෙන්ම අපි ඉතා අසීරු අඩියක තමයි මේ ඉන්නෙ. අපි ආර්ථික වශයෙන් විතරක් නොවෙයි, සදාචාරය, සභ්‍යත්වය අතිනුත් දුප්පත් වෙලා. අද තියන අර්බුද වලට මීට පෙර රට පාලනය කරපු හැම කෙනාම අඩු වැඩි වශයෙන් වගකියන්න ඕන.
- මේ ආර්ථික අහේනියට හේතුව කොරොනා තත්වය නොවෙයිද ?
ඒකෙන් වුණේ ආර්ථික, සමාජ ගැටලු සංකීර්ණ වුණ එක විතරයි. නිවැරදි සැලසුම් මත ක්‍රියා නොකිරීම තමයි ප්‍රධාන හේතුව.
- වත්මන් ආර්ථික අර්බුදයට ආණ්ඩුව, ආනයන සීමා කරලා. මේක කොයි විධියටද රටට බලපාන්නෙ ?
77 ට කලින් ආණ්ඩුව කළෙත් ඔය උපායම තමයි. ඒත් එය ආසාර්ථක වුණා. ඒ නිසයි අපි ආර්ථිකය විවෘත කළේ. ආනයන සීමා කිරීම සරළ සහ ප්‍රාථමික උපායක්. ද්වීපාර්ශ්වීය, බහුපාර්ශ්වීය වෙළඳ රටාවක් තුළ ආනයන සීමා කිරීම ප්‍රශ්ණ රැසකට මුල් විය හැකියි. උදාහරණයක් විධියට අපි ජපන් වාහන ගෙන්වීම සීමා කරන කොට, ජපානය අපේ නිෂ්පාදන ගැනීම සීමා කළොත් අපේ අපනයන වලට මොකද වෙන්නෙ ?
- අපිට මෙයින් ගැලවෙන්න විධියක් ඇත්තෙම නැද්ද ?
අපි තවමත් ප්‍රමාද නැහැ. මීට වඩා අභියෝග ජයගත්තු නායකයො ලෝක ඉතිහාසය තුළ හිටියා. ඒ වගේම මෑත යුගයේත් ඉන්නවා. අපේ රටෙත් ඉන්නව.
- කවුද ඒ අය ?
ඒ කවුද කියලා නම් කිරීම සාධාරණයි කියල මම හිතන්නෙ නැහැ.
- රටේ බහුතරයකගෙ අදහස රට ගොඩගන්න පුළුවන් පරිණත නායකයන්ගෙ හිඟයක් තියනව කියලයි ?
අපේක්ෂා සුන්වූ පිරිසක් එහෙම හිතනව ඇති. ඒත් රට ගොඩනගන්න පුළුවන් හැකියාව තියන නායකයො දේශපාලන ක්ෂේත්‍රෙ ඉන්නවා. දේශපාලඥයන්ට ‘අපේ කම‘ තියෙන්න ඕන. ඊට පස්සෙ ‘ඕනෑ කම‘ තියෙන්න ඕන. මේ දෙක තියනවනම් තමයි ‘නායක කම‘ ලැබෙන්නෙ.
- රටේ බිහිවුණු නායකයන් දෙස බැලුවම සජිත් තාම තරුණ වයසෙ ඉන්නෙ. රටක නායකත්වය භාරගන්න කෙනෙක් මීට වඩා පරිණත විය යුතුයි කියල හිතෙන්නෙ නැද්ද ?
මේ රටේ වැඩියෙන්ම වැඩ කළේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාගෙ ආණ්ඩුව කියන එක කවුරුත් පිළිගන්නවනේ. ඒ ආණ්ඩුවේ විසාලම වැඩසටහන් ටික ජේ.ආර්. භාරදුන්නෙ තරුණයන් දෙන්නෙකුටනේ. මහවැලිය දුන්නෙ ගාමිණීට. වෙළඳාම, වරාය, නැව් කටයුතු භාරදුන්නෙ ලලිත්ට. ඉතිං එදා ජේ.ආර්. හිතුවනං තරුණයන්ට මේ වගේ ලොකු වගකීමක් භාර දීම සුදුසු නැහැ කියලා, අද මහවැලියකුත්, දියුණු වරාය ක්‍රමයකුත් මේ රටේ නැහැ.
- ලලිත්, ගාමිණී ගේ පරිසාධන මට්ටම සජිත්ට තියනවා කියල ඔබ හිතනවද ?
අත්දැකීම් ගන්න, හැට පනින්නම ඕන කියල මම නං හිතන්නෙ නෑ. මනුෂ්‍යයෙක්ගෙ පරිණත භාවය ඇතිවෙන්නෙ ඔහු කුසලතා ග්‍රහණය කර ගැනීමේ වේගය වගේම සිදුවීම් වලට නිවැරදි ප්‍රතිචාර දැක්වීම මත බව මිසක්, වයස්ගත වීමේ ප්‍රවණතාව මත නෙවෙයි.
සජිත් ගැන මට දැනෙන දේ තමයි, එයා ප්‍රශ්ණ ගැන සම්ප්‍රදායික කෝණයකින් බලන තරුණයෙක් නොවෙන බව. ඔහු ගැටලු වලට අවතීර්ණ වෙන්නෙ වෙනස්ම පැතිකඩකින්. එහෙම කරන්න පුළුවන් ප්‍රශ්ණයක හැම පැත්තක් ගැනම යම් අවබෝධයකින් යුතුව ඉන්න කෙනෙකුට විතරයි. ඒකට හොඳම උදාහරණය තමයි, කොරෝනා වසංගතේ චීනෙ වූහාන් වල පැතිරෙන කොට, එහි ඇති අනතුර ගැන ඔහු ආණ්ඩුවත්, රටත් දැනුවත් කළා. අවාසනාවට ඒ ගැන කවුරුවත් ක්‍රියා කළේ නෑ. ඔහු දුර දකින කෙනෙක් කියල ඒකෙන්ම පේනවනේ.
- අද රට තිබෙන්නෙ විශාල අඝාධයක. එවැනි රටක් ගොඩදාන්න සජිත්ට හැකියාවක් තියේවි කියල හිතනවද ?
මේක ලියලා තියාගන්න. 2024 දි මේ රට භාරගන්න නායකයෙකුට ලැබෙන්නෙ 1977 දි ජේ.ආර්.ජයවර්ධනට ලැබුණු රටට වඩා අන්ත විධියට පිරිහුණු රටක්. ඒක ගොඩගන්න එක ලේසි පහසු වෙන එකක් නෑ. එදා ජේ.ආර්. බලයට එනකොට මේ රටේ මිනිස්සුන්ගෙ බඩ පිටට ඇලිලා තිබුණෙ. සමූපකාරෙ ඇරෙන්න එක කඩේකවත් හාල් ඇටයක්, බොම්බයි ළූණු ගෙඩියක් ගන්න තිබ්බෙ නෑ. මුළු රටේම මිනිස්සු හිටියෙ පෝලිං වල. ආණ්ඩුවෙන් දීපු සලාකෙට තමයි හැම දේම ගන්න වුණේ. සතියකට දවස් දෙකක් බත් කෑම ආණ්ඩුව තහනම් කරලා තිබුණා. දැන් ඉන්න තරුණයො මේවා දන්නෙ නෑ. 1977 දි ජේ.ආර්. ඒ අභියෝගය ජය ගත්තා. ඒ එතුමාගේ දර්ශනය ක්‍රියාත්මක කරන්න හැකියාවක් ඇති පිරිස් වලට වගකීම් දීමෙන් තමයි එහෙම කළේ. උදාහරණයක් විධියට හිටපු මුදල් ඇමති කෙනෙක් විධියට ජේ.ආර්. ට තිබුණා ජනාධිපති කමට අමතරව මුදල් ඇමති කමත් කරන්න. ඒත් එය මට දුන්නා.
2024 දි රට බාරගන්නවා නම් මේ අභියෝග වලට මුහුණ දෙන්න බලන් ඉන්න කියලා මම සජිත්ට මූණටම කිව්වා. ඒ මගේ උපන් දිනේට එතුමා මගේ නිවසට ආපු වෙලාවෙ. ඒ සඳහා ඔහු තුළ ඇති සැලසුම් ගැන ඒ වෙලාවෙ ඔහු මට කිව්වා. මගේ උපදෙසුත් ගත්තා. එතැනදි මට තේරුණා මේ රටේ ආර්ථිකය පිළිබඳ ඉතාම හොඳ දැක්මක් ඔහුට තියනවා කියලා. ආ.. මම ඔහුට තවත් උපදෙසක් දුන්නා. ඒ තමයි මෙතුවක් කල් ආරක්ෂා කරගෙන ආපු චරිත ලක්ෂණ ඉදිරියටත් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න කියලා. අද දේශපාලඥයන්ගෙ තියන වැරැද්ද තමයි හොඳ කල්ක්‍රියාවක් නැතිකම.
- ඒත් ඇතැම් අය නම් කියන්නෙ, රටේ ප්‍රමුඛතාව වෙන ජාතික ආරක්ෂාව සැලසීම අතින් සජිත්ට වඩා වැඩි හැකි හැකියාවක් පාලක පක්ෂෙ නායකයන්ට තියනවා කියලා ?
ආණ්ඩු විවේචනය කරන්න මට අවශ්‍ය නෑ. ජාතික ආරක්ෂාව රටේ ප්‍රමුඛතම දේ විය යුතුයි කියලා කියන කෙනෙක් ඉන්නවා නම් ඔහුට මේ රටේ ප්‍රමුඛතා පිළිබඳ අබ මල් රේණුවකවත් දැනීමක් නැහැ කියල තමයි මට කියන්න වෙන්නෙ. ඇත්තටම මේ රටේ ප්‍රමුඛතම ප්‍රශ්ණය ජාතික ආරක්ෂාව නොව, ජාතික සමගිය. ජාතික ඒකාග්‍රතාව. ජාතික සමගිය නැති කොයි සමාජයකවත් ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ.
සාකච්ඡා සටහන : උපුල් ගලප්පත්ති