2023 වසරට වඩා 2024 වසරේ දී එකතු වන බදු ආදායම රටේ ජනතාවගෙන් බෙදූ විට එක් පුද්ගලයෙක් 2023 වසරට වඩා රුපියල් 4650 ක් බදු වශයෙන් ගෙවිය යුතු බවත් රටේ ශ්‍රම බලකායෙන් එක් පුද්ගලයෙක් 2023 වසරට වඩා රුපියල් 12,000 ක මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවැසීය.
අශෝක අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රජයේ සේවකයෙකුට රුපියල් 10,000 ක් ලබාදීමට යෝජනා කර ඇති බවත් නමුත් බදු වශයෙන් රාජ්‍ය සේවකයෙකුට රුපියල් 12,000 ක් ගෙවන්න සිදුවෙන බවත්ය.
රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 ක දීමනාව ලබාදෙන්නේ අප්‍රේල් මාසයේ සිට බවත් ඉතිරි හිඟ මුදල් ඔක්තොම්බර් මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බවත් එම කාලයේදී රාජ්‍ය සේවකයින්ට හිඟ වැටුප් ලබාදෙන්න රජය කටයුතු කර තිබෙන්නේ ජනාධිපතිවරට පැමිණීම හේතුවෙන් බවත් මෙම වැටුප් ලබාදීම රටේ සමස්ත රාජ්‍ය සේවකයින්ම රැවටීමේ ක්‍රියාවක් බවත් අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.
2023 අයවැයේ යෝජනා 77 න් 69 ක් ක්‍රියාතමක කරලා නැති බවත් 2023 අයවැය යෝජනා වලින් යෝජනා 8 ක් පමණක් ක්‍රියාත්මක කර ඇති බවත් 2024 අයවැයෙත් යෝජනා 70 ක් තිබෙන බවත් මෙම යෝජනා ද ක්‍රියාත්මක කරයි කියා රටේ ජනතාව තුළ විශ්වාසයක් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
ජනාධිපතිවරණය ව්‍යවස්ථාව අනුව අනිවාර්යෙන් 2024 දී පැවැත්විය යුතු බවත් ව්‍යවස්ථාවක් වෙනස් කරන්න තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය බවත් ඒ බලය වර්තමාන ආණ්ඩුවට නැති බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂය යනු ඊළඟ ආණ්ඩුව බවත් විපක්ෂ නායකයා යනු ඊළඟ රාජ්‍ය නායකයා බවත් සමගි ඊලඟ නායකයා සහ ඊලඟ ආණ්ඩුව පිහිටුවන්න ජනබලවේගයට හැකියාව තිබෙන බවත් අශෝක අබේසිංහ මහතා කීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (14) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
අශෝක අබේසිංහ මහතා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මෙසේ ද පැවැසීය
‘‘රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේදී 78 වන අයවැය ඉදිරිපත් කළා. ඔහු ඉදිරපත් කළ අතුරු අයවැයත් සමඟ මෙම අයවැය ඔහුගේ තුන්වැනි අයවැයයි. ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන ඉදිරිපත් කළ අයවැයක් ලෙස මේ අයවැය හදුන්වා දෙන්න පුලුවන්.
ඉදිරි අයවැය වෙනුවෙන් ජනතාවට සහන ලබාදෙන බව මෙම අයවැය තුළින් පෙන්වන්න අසාර්ථ උත්සාහයක් ජනාධිපතිවරයා ගත්තා. පවුල් ලක්ෂ 60 ක් සහ දෙකෝටි විසි ලක්ෂයක් ජීවන බරින් මිරිකිලා සිටිනවා. රටේ ලක්ෂ 13 ක් වන රාජ්‍ය සේවක නිලධාරීන්ගේ ජීවන වියදම් දීමනවා රුපියල් 7800 ය ලබන වසරේ අප්‍රේල් සිට 17,800 දක්වා වැඩි කරලා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදෙන බව ප්‍රකාශ කළා. අසූ පන් ලක්ෂයක් වැඩ කරන ජනතාවක් රටේ සිටිනවා. ජනාධිපතිවරයා මෙම දීමනාව දෙන්න තීන්දු කරලා තිබෙන්නේ 13 ලක්ෂයකට පමණයි. ලක්ෂ 72 ක් වන වැඩ කරන ජනතාවය කුමක්ද සිදුවන්නේ.
රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 ක දීමනාව ලබාදෙන්නේ අප්‍රේල් මාසයේ සිට ජනවාරි මාසයේ සිට ලැබෙන හිඟ මුදල ඔක්තොම්බර් මාසයේ කොටස් වශයෙන් ලබාදෙනවා කියලා ජනාධිපතිවරයා පවසනවා. සියලු දෙනා දන්නවා ජනාධිපතිවරණය ව්‍යවස්ථාව අනුව ලබන වසරේ අනිවාර්යෙන් තියන්න ඕන. නොවැම්බර් 17 වැනිදා වෙද්දි අලුත් ජනාධිපතිවරයා පත්වී සිටිය යුතුයි. සැප්තැම්බර් මාසයේ සිට තමයි ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවලා රැස්වීම් පැවැත්විය යුතුයි. මේ කාලයේදී තමයි රාජ්‍ය සේවකයින්ට හිඟ වැටුප් ලබාදෙන්න රජය කටයුතු කර තිබෙන්නේ. මේක රටේ ජනතාව සහ සමස්ත රාජ්‍ය සේවකයින් රැවටීමක්. විශ්‍රාමිකයන් ඉන්නවා හත් ලක්ෂ තිස් දහසක්. ඒ පිරිසට රුපියල් 2500 ක දීමනාවක් දෙනවා කියලා කියනවා.
දැනට තිබෙන වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කරන්න ආණ්ඩුව යෝජනා කරලා ඉවරයි. අලුත් භාණ්ඩ හා සේවා 150 ක් සඳහා අලුත් වැට් බද්ද එකතු වෙනවා. එය ජනවාරි මාසයේ ගැසට් මගින් ප්‍රකාශ කරන බවද සඳහන් කළා. 2024 ජනවාරි සිට සියලු භාණ්ඩවල මිල අවම සියයට 20 කින් වැඩි වෙනවා. රජය ඉන්ධන සඳහාත් වැට් බද්ධ එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. 2024 දී රජය අලුත් බදුවලින් බිලියන 1224 ක ආදායමක් බලාපොරොත්තු වෙනවා.
මේ වසරට වඩා ලබන වසරේ එකතු වෙන අලුත් බදු ආදායම රටේ ජනතාවගෙන් බෙදූ විට එක් පුද්ගලයෙක් ලබන වසරේ මේ වසරට වඩා රුපියල් 4650 ක් බදු වශයෙන් ගෙවන්න ඕන. විශ්‍රාමික ප්‍රජාවට රුපියල් 2500 ක් ලබා දීලා ලබන වසරේ සිට ඔවුන්ගෙන් 4650 ක් රජය බදු ලෙස ලබාගන්නවා. රටේ ශ්‍රම බලකාය ලක්ෂ 85 ක් පමණ සිටිනවා. ලබන වසරේ එකතු වෙන අලුත් බදු ආදායම රටේ ශ්‍රම බලකායෙන් බෙදපුවාම එක් පුද්ගලයෙක් ලබන වසරේ මේ වසරට වඩා රුපියල් 12,000 ක් බදු වශයෙන් ගෙවනවා. රජයේ සේවකයෙකුට ලබාදෙන්නේ රුපියල් 10,000 යි නමුත් බදු වශයෙන් රජය රුපියල් 12,000 ක් රජය ලබා ගන්නවා.
අයවැයෙන් කියන දේවල් ඉටුවෙනවාද කියන එක ගැටලුවක්. පසුගිය අයවැය ගැන වෙරිටේ රිසච් ආයතනය පරීක්ෂණයක් සිදුකරලා තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට 2023 අයවැය යෝජනා 77 න් 69 ක් ක්‍රියාතමක කරලා නෑ . 2023 අයවැය යෝජනා වලින් යෝජනා 8 ක් පමණයි ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. අයවැය යෝජනා 16 ක් ආරම්භ කරලා නෑ. 2024 අයවැයෙත් යෝජනා 70 ක් තිබෙනවා. මෙම යෝජනා ක්‍රියාත්මක කරයි කියලා රටේ ජනතාවට විශ්වාස කරන්න බෑ. ඒ නිසා තමයි නාමල් රාජපක්ෂ කිව්වේ 2024 අයවැය 2023 අයවැයේ කොපියක් කියලා. ඒ වගේම නාමල් රාජපක්ෂ කියනවා රනිල් වික්‍රමසිංහ කියන්නේ පොදුජන පෙරමුණේ මුදල් ඇමැති කියලා.
රටේ ආර්ථික අර්බුදයේ තිබෙන්නේ විදේශ විනිමය ගැටලුවක් , වෙළඳ ක්ශේෂයේ ප්‍රශ්නයක් , නමුත් අපනයන ක්‍රම දිරි ගැන්වීම ගැන අයවැයේ කිසිම දෙයක් සඳහන් වෙලා නෑ. විදේශ විනිමය වැඩි කරගැනීම පිළිබඳ කිසිම දෙයක් සඳහන් වෙලා නෑ. ණය කළමනාකරණය ගැන කිසිම දෙයක් සඳහන් වෙලා නෑ. ණය ගැනීමේ සීමාව බිලියන 3900 සිට බිලියන 7500 දක්වා වැඩි කරන්න 2024 අයවැය යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේදී ජාත්‍යන්තර ස්වෛරීත්ම බැඳුම්කර මිලිදී ගන්න බිලියන 3000 ක් ණය ගන්න බලාපොරොත්තු වන බව අයවැයෙන් යෝජනා කරලා තිබෙනවා.
මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 450 ක් ප්‍රාග්ධනය ලෙස ලබාදෙන්න බලාපොරොත්තු වන බව අයවැයෙන් යෝජනා කරලා තිබෙනවා. මේ බිලියන 3450 ම රජය ගන්න බලාපොරොත්තු වන්නේ ණය විදිහට. එතකොට වෙන්නේ තව තවත් ණය බර වැඩිවෙන එක. අද අපේ රටේ ණය ට්‍රිලියන 31 ක්. 2020 වෙද්දි රටේ සමස්ත ණය තිබුණේ ට්‍රිලියන 13 යි. අවුරුදු 70 ක් තුළ නොගෙවූ ණය ප්‍රමාණය ලෙස තිබුණ කෝටි දහතුන් ලක්ෂය 2023 අවසාන වෙද්දි කෝටි තිස් එක් ලක්ෂයක් බවට පත් වෙලා තිබෙනවා.තවත් ණය ගැනීමෙන් වෙන්නේ රටේ ජනතාව ණය කාරයෝ බවට පත්වීමයි. ණය උගුලෙන් රට බේරාගන්න රජයට වැඩපිළිවෙලක් නෑ. ආර්ථික අර්බුදය මේ තරම් වැඩි වෙලා තිබෙන්නේ දිගින් දිගටම ණය ගැනීමෙන්. අයවැය කතාවේදී ජනාධිපතිවරයා කියනවා 2032 වෙද්දි රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 95 කට ගේනවා කියලා. එහෙම ගේන්න බෑ මෙකද තාම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරලා නෑ.
අයවැය කතාවේදී ජනාධිපති කියනවා මධ්‍යම අධිවේගි මාර්ගය හදන්න පටන් ගන්නවා කියලා. ඒවගේම මධ්‍යම අධිවේගි මාර්ගය හදන්නේ විදේශ ණය කළමනාකරණය කිරීමෙන් පසුසේ විදෙස් රටවලින් ණය ගන්න පුලුවන් වුණාම කියලත් ජනාධිපති කියනවා. තාම විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරන්න ආරම්භ කරලාවත් නෑ.
සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් සඳහා බිලියන 50 ක් යොදවන්න යෝජනා කරලා තිබෙනවා කියලා කියනවා. අයවැයෙන් යෝජනා කරන්න ප්‍රථම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලුවලට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක් ගන්න මූලික වැඩපිළිවෙල සකස් කළේ. එයින් සිදුකළේ ඔවුන් ණය පියවන්න , අලුතින් ණය ලබාදෙන්න. ජනාධිපතිවරයාට බිලියන 50 ක් වෙන් කරන්න කොහෙන්ද මුදල්.
අඩු ආදායම් ලාභි නිවාස යෝජනා ක්‍රමවල සිටින නිවාස හිමියන්ගෙන් අයකරන රුපියල් 3000 ක කුලිය කපාහරිනවා කියලා. ඒක හොද යෝජනාවක්. ඔවුන්ට ඔප්පු ලබාදෙනවා කියලා කිව්වා. කොහොමද ඔප්පු ලබාදෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා. කිසිදු මුදලක් අය කරගන්නේ නැතුව ඔවුන්ට ඔප්පු ලබාදිය යුතුයි.
නිවසක් හදන්න ගියාම බදු අංකය ඉදිරිපත් කළ යුතුයි කියලා අයවැය යෝජනා වල තිබෙනවා. ඒ වගේම වාහනයේ වාර්ශික බලපත්‍රය ගන්න ගියාම බදු අංකය ඉදිරිපත් කරන්න ඕන. මෙයින් පෙනෙන්නේ රජය රටේ සියලුම ජනතාව බදු දැලට හසුකර ගැනීමට දරන උත්සාහයක්.
2023 අයවැය කතාවේ තිබෙන බොහෝ කරුණු 2024 අයවැය ලේඛනයෙත් තිබෙනවා. 2023 වසරේ ක්‍රියාත්මක නොකළ අයවැය යෝජනා 77 න් යෝජනා කිහිපයකතු 2024 අයවැයට ඇතුලත් කරලා තිබෙනවා.
පසුගිය අයවැයේදී රාජ්‍ය ආදායම බිලියන 3415 ක් කියලා රජය පැවසුවා නමුත් ලැබිලා තිබෙන්නේ බිලියන 2850 යි. සියයට 20 ක බදු ආදායමක් අහිමිවෙලා තිබෙනවා. 2024 දී බිලියන 4127 ක බදු ආදායමක් රජය බලාපොරොත්තු වෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා රාජ්‍ය ආදායමෙන් සියයට 20 ක් ලැබෙන්නේ නෑ කියලා. ඇස්තමේන්තු කරපු මුදලින් බිලියන 600 කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා නෑ. ඇස්තමේන්තු කරපු මුදලට තමයි වියදම් හදන්නේ. ඒ ඇස්තමේන්තුගත මුදල ලැබුණේ නැති වුණාම කොහොමද අයවැයේ තිබෙන යෝජනා ක්‍රියාත්මක කරන්නේ.
උපයන විට ගෙවන බද්ද ඉවත් කරන්න කියලා වෘත්තිකයන් පැවසුවා. උපය විට බදු ලෙස වෘත්තිකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බිලියන 100 යි. මාසයට ලක්ෂයක් උපයන පිරිසට බදු ගෙවන්න සිදුවුණා. සියයට 6 සිට සියයට 36 දක්වා. වෘත්තිකයන් ඉල්ලීමක් කළා ලක්ෂයක සීමාව ලක්ෂ දෙක බවට පත් කරන්න කියලා. එතකොට අවුරුද්දකට ලක්ෂ 24 කට වඩා උපයන පිරිසට තමයි බදු ගෙවන්න සිදුවෙන්නේ. ඒ කාරණයට රජය අවධානය යොමු කරලා නෑ. සියයට 36 ක ප්‍රතිශතය සියයට 24 දක්වා අඩුකරන්න කියලා වෘත්තිකයන් ඉල්ලුවා. ඒ පිලිබඳවත් රජය අවධානය යොමු කරලා නෑ. උපය විට බදු ලෙස 2023 දී වෘත්තිකයන්ගෙන් බලාපොරොත්තු වුණේ බිලියන 100 යි. 2024 දී ඒ බදු ආදායම බිලියන 147 ක් ලැබෙනවා. මේ ගැටලුව නිසා වෛද්‍යවරු 5000 කට අධික පිරිසක් විදේශගත වනබව ජනාධිපතිවරයාට කියලා තිබෙනවා.
2024 අයැවැයෙන් යෝජනා කරලා තිබෙනා අලුත් විශ්ව විද්‍යාල ආරම්භ කරනවා කියලා. දැනටමත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ආචාර්යවරු 12,900 ක අවශ්‍යව තිබෙනවා. නමුත් මේ පිරිසෙන් දැනට සිටින්නේ ආචාර්යවරු 6000 යි. අලුත් විශ්ව විද්‍යාල ආරම්භ කළොත් ඒ විශ්ව විද්‍යාලවලට ආචාර්යවරු නෑ. උපයන විට බදු අය කිරීම නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරු විශාල ප්‍රමාණයක් විදේශගත වෙලා තිබෙනවා. විදුලි බල මණ්ඩලය සතුව ඉන්ජිනේරුවරුන් 1100 ක් සිටිය යුතුයි නමුත් ඉන්නේ 850 යි. 200 ක් පමණ විදේශගත වෙලා.‘‘
ප්‍රශ්නය – අයවැය පරාජය කිරීමේ සැලසුමක් තිබෙනවාද විපක්ෂයට
පිළිතුර – සමගි ජන බලවේගයට මන්ත්‍රීවරු 50 යි ඉන්නේ. ආණ්ඩුවෙන් ඉවත් වුණ පිරිසත් සමඟ මන්ත්‍රීවරු 90 ක් පමණ ඉන්නවා. නමුත් අයවැය පරාජය කරන්න 113 ක බහුතර බලයක් ඕන. ජනතා අයවැයක් නෙවෙයි. අපෙන් ඇහුවේ නෑ. 2023 අයවැයේ කොපියක් කියන අය ඡන්දය දුන්නොත් අයවැය පරාජය කරන්න පුලුවන්.
ප්‍රශ්නය – මෙවර අයවැයේදීත් ජනාධිපතිවරයා පැවසුවා විපක්ෂයට ආණ්ඩුව සමඟ එකතු වෙලා සහය දෙන්න කියලා. ඒ ගැන ඔබතුමාගේ අදහස
පිළිතුර – එතුමා හැමවෙලාවෙම සහය දක්වන්න කියලා විපක්ෂයට ආරාධනා කරනවා. ක්‍රිකට් පරිපාලනයට එරෙහිව විපක්ෂය ඡන්දයක් ඉල්ලද්දි කතානායකවරයා ඡන්දයක් ලබාදුන්නේ නෑ. ඒ ජනාධිපතිවරයා කරපු ඉල්ලීමක් නිසා තමයි කතානායක එහෙම හැසිරුනේ. පොදුජන පෙරමුණ ඡන්දය දුන්නානම් ජනාධිපති ඉවරයි.
අපි එදා ආණ්ඩුව ගත්තානම් අපිට ආණ්ඩුව කරන්න වෙන්නේ දැන් ඉන්න හොරු රැලත් එක්ක. කැබිනට් මණ්ඩලය හදන්න වෙන්වෙත් සමගි ජනබලවේගය සහ පොදුජන පෙරමුණ එකතු වෙලා. අපිට හොරුත් එක්ක ඉන්න බෑ. ණය ගෙවන්නේ නැතුව ඩොලර් බිලියන 3.5 ක සංචිතයක් තිබෙනවා කියලා ආණ්ඩුව කියනවා. රුපියල් 117 ට තිබුණ පෙට්ට්‍රල් රුපියල් 300 කට වැඩි වුණාම තෙල් පෝලිම් නැති වෙනවා. 1400 තිබුණ ගැස් සිලින්ඩර 4000 ක් වුණාම පොලින් නැති වෙනවා. රටේ ජනතාව කන්නේ වේල් තුනෙන් වේල් දෙකයි. මේ වගේ තත්ත්වයක කඩවල් පෝලිම් තියෙයිද?
කාර්තු 7 ක් රටේ ආර්ථිකය සෘණ. මේ වසරේත් ආර්ථිකය සෘණ 3.6 යි. ලංකාවේ ආර්ථිකය සෘණ වුණේ නායකයෝ තුන්දෙනෙක් යටතේ. 2002 චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව කාලයේ , 2019 ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ ආර්ථිකය සෘණ වුණා. රනිල් රාජපක්ෂගේ පාලනය තුළ ආර්ථිකය සෘණ වෙලා තිබෙනවා. කාර්තු 7 ක් ආර්ථිකය සෘණ වුණ රටක පෝලිම් තියෙන්න බෑ.
සමගි ජනබලවේගය කියන්නේ අලුත් පක්ෂයක්. ඉතාම කෙටි කාලයකදී රටේ ප්‍රධාන විපක්ෂය බවට සමගි ජනබලවේගය පත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂය කියන්නේ ඊළඟ ආණ්ඩුව. විපක්ෂ නායකයා කියන්නේ ඊළඟ රාජ්‍ය නායකයා. අපිට හැකියාව ලැබිලා තියෙනවා ඊලඟ නායකයා සහ ඊලඟ ආණ්ඩුව පිහිටුවන්න.
ප්‍රශ්නය – මුදල් අච්චු ගහන්නේ නැතිව අයවැය සඳහා කොහොමද මුදල් වෙන් කර ගන්නේ. ක්‍රමවේදයක් තිබෙනවාද
පිළිතුර – මහබැංකු පනත අනුව මුදල් අච්චු ගහන්න බෑ. ණය මත තමයි රජය ගමන් කරන්නේ. රටේ තිබෙන්නේ ආර්ථික කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක්. මහ බැංකුවට සීමාවක් තිබෙනවා ට්‍රිලියන 6 ක් මුදල් අච්චු ගහන්න. අයි එම් එෆ් එක කිව්වා කිසිම මුදල් අච්චු ගැසීමක් සිදුකරන්න බෑ කියලා. මහබැංකුව අයි එම් එෆ් එකෙන් ඉල්ලලා තිබෙනවා සියයට 10 ක් මුදල් අච්චු ගහන්න අවසර දෙන්න කියලා. ඒකත් දෙන්න බෑ කියලා. රජයට ණය දෙන්න මහබැංකුවට බෑ. පසුගියදා මහබැංකුව දීලා තිබුණ බිලියන 3000 ක් ප්‍රතිව්‍යුහගත කළා.
මහ බැංකුව බංකොලොත් වෙලා තියෙන්නේ.
ප්‍රශ්නය – මැතිවරණයක් තියන්න පුලුවන් වෙයිද මේ යන විදිහට
පිළිතුර – ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තියන්නේ ව්‍යවස්ථාව අනුව. ව්‍යවස්ථාවක් වෙනස් කරන්න තුනෙන් දෙකක් ඡන්දයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. තුනෙන් දෙකක් ආණ්ඩුවක් නෑ. ජනාධිපතිවරණය අහෝසි කරනවා කියලා උප්පරවැට්ටයක් දාන්න පුලුවන්. ඒක සම්මත වෙන්නත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕන. සහ ජනමත විචාරණයක් ඕන. ජනතාවට රවට්ටන්න තමයි රනිල් වික්‍රමසිංහ එක එක යෝජනා ගේන්නේ. නමුත් දැන් ජනතාව රවට්ටන්න බෑ.