ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රටේ ක්‍රියාත්මක තවත් හොරු ගණුදෙනුවක් තහනම් කළ බවත් VFS ගනුදෙනුව නමින් රටේ වීසා නිකුත් කිරීම ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රමවේදයකින් තොරව වෙනත් ආයතනයකට ලබා දීම නිසා ඇ. ඩොලර් බිලියන 1.2ක් අප රටට මේ නිසා අහිමි වූ බවත් මේ හොරකම සහ එයට හේතු වූ මුදල් ප්‍රමාණය උපයෝගී කර ගෙන පාසල් සුහුරු කිරිමට හැකියාවක් තිබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ කම්බ හොරු ටික VFS ගනුදෙනුව හරහා ඔවුන්ගේ බඩගෝස්තරවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම නිසා රටට ඩොලර් බිලියන 1.2ක් පාඩු වූ බවත් රවුෆ් හකීම්, සුමන්තිරන්, චම්පික රණවක, අශෝක් අබේසිංහ යන මන්ත්‍රීවරුන් ද රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සහ උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥවරයාගේ සහ සෙසු නීතිඥයන්ගේ ශක්තියෙන් ඉදිරිපත් කළ තර්කය පිළිගනිමින් වි. එෆ්. එස්. හොර ගනුදෙනුව තහනම් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවත් මෙවැනි තීන්දුවක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණයට සිය ප්‍රණාමය පුද කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද නුවරඑළිය හගුරන්කෙත පැවැති සමගි ගොවි බලවේගයේ රැළිය අමතමිනි.

පොලිස්පති පත් කළ ක්‍රමවේදයේ අඩුපාඩුකම් දැක එයත් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරන විට ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව එම තීන්දුව පාර්ලිමේන්තුවේ දී විවේචනය කළ බවත් වි. එෆ්. එස්. ගනුදෙනුව හරහා අප රටට ඇ. ඩොලර් බිලියන 1.2ක පාඩුවක් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ඨ තීන්දුවක් හරහා එය තහනමට ලක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අගමැති හා ආණ්ඩුව කියන්නේ මොකද්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

හොරු අල්ලනවා කියන රතු සහෝදරුවරු අල්ලපු හොරෙක් නෑ

එසේම හොරු අල්ලනවා කියන රටේ ජනතාවට අනුකම්පා කරනවා යැයි කියන සහෝදරවරු වි. එෆ්. එස්. ගනුදෙනුව ගැන කතා නොකළ බවත් වි. එෆ්. එස්. ගනුදෙනුව ගැන පළමුව පාර්ලිමේන්තුවේ කතා කළේ තමා බවත් අද වන විට එක එක කණ්ඩායම් රට වටේ බොරු ප්‍රචාර දියත් කරමින් යන බවත් සහෝදරවරු හොරු අල්ලනවා කිව්වත් ඔවුන් හොරුත් එක්ක ඩීල් දමන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

 

රාජපක්ෂ සරණං ගච්චාමි ගිය අයත් දැන් ජනාධිපතිට එකතු වෙලා

මේ වන විට ජනාධිපතිවරයා සමඟ එක එක අය එකතු වූ බවට ප්‍රවෘත්ති එන බවත් මෙසෙ එකතු වූ අය දිහා බලන ලෙසත් රාජපක්ෂවරු සමඟ අත්වැල් බැඳ ගෙන රාජපක්ෂ සරණං ගච්චාමි කිය කිය රාජපක්ෂ පරපුර සිපවැළඳගත් අය අද ජනාධිපතිවරයා සමඟ එකට එකතු වී ඇති බවත් සමගි ජන බලවේගයේ හෝ සමගි ජන සන්ධානයේ හොරුන්ට ඉඩක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

 

සක්වලයි හුස්මයි තහනම් කරලා ජනාධිපතිගේ විවෘත කිරීම් ගජරාමෙට කරනවා

අද රටේ ඇත්තේ අරුම පුදුම තත්ත්වයක් බවත් තමා පෞද්ගලික ධානපතියන්ගෙන් ආධාර ගෙන සක්වල හා හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කරන විට එම වැඩසටහන් මැතිවරණ නීතිරීතිවලට විරුද්ධයි කියා නතර කළත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රජයේ අරමුදල්වලින් ආරම්භ කරන ව්‍යාපෘති ජනතාව අතට පත් කරනවා කියා මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවන බවත් ජනාධිපතිගේ වැඩසටහන්වලට ඉඩ දෙනවා සේම සක්වලා හා හුස්මටත් ඉඩ දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

දරුවන් ලක්ෂ 23කට මන්දපෝෂණය

රටේ පෝෂණ අර්බුධයක් ඇති බවත් දරු පරපුරෙන් ලක්ෂ 23ක් මන්දපෝෂණයට ලක්ව ඇති බවත් පාසල් දරුවන්ගේ පෝෂණය කඩා වැටී ඇති මුත් පාලකයන්ට විසදුම් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

 

වගා නොකළ මුඩු ඉඩම් තරුණයන්ට

එම නිසා වගා නොකර සිටින මුඩු ඉඩම් කිසිදු ඉඩමක අයිතියක් නොමැති වතු ජනතාවට සහ තරුණයන්ට ලබා දී කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගන්වන බවත් තාක්ෂණ ක්ෂේත්‍රයේ සහනාධාර ලබා දෙන බවත් සීමාසහිත භූමියෙන් වැඩි ඵලදාවක් ගන්න අවස්ථාව ලබා දෙන බවත් ගුණාත්මකභාවයෙන් ඉහල පොහොර දරාගත හැකි මිලකට ලබා දෙන බවත් ඊට අමතරව ගෝලීය වෙළෙඳාපොළට අප රටේ නිෂ්පාදන යොමු කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

 

පොහොර සහනාධාර දෙන්න සල්ලි නැති වුණාට ජනාධිපතිට සැප විදින්න සල්ලි තියෙනවා

ගොවියාට පොහොර සහනාධාර දෙන්න රජයට මුදල් නොමැති වුවත් ජනාධිපතිගේ සුඛවිහරණය සඳහා කෝටි ගණන් මුදල් වෙන් කර සංස්කෘතිය වෙනස් කර රටේ ජනාධිපතිවරයා යනු රට වෙනුවෙන් වැඩිම කැපකිරීමක් කර නායකත්වය හරහා රටේ ලක්ෂ 220ට බිහි වී ඇති පරමාදර්ශී චරිතය බවට පත්විය යුතු බවත් අද රටේ පාලකයෝ මහපොළොවේ නොව කෙදි වළාකුළු හා කැටි වළාකුළුවල සිටින බවත් තරු 7 හෝටලයේ හෝ මන්දිරවල සුපිරි ජීවිත ගත කරන බවත් මොවුන්ට පොඩි මිනිසාගේ දුක කදුල වේදනාව නොතේරෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

මන්දිර සංස්කෘතියට තිත

එබැවින් මෙම මන්දිර සංස්කෘතිය අවසන් කර සෑම මන්දිරයක් ම මේ රටේ ගොවියාගේ ධීවරයාගේ කම්කරුවාගේ වතු ක්ෂේත්‍රයේ ජනතාවගේ රාජ්‍ය සේවකයාගේ මධ්‍යම පාන්තිකයාගේ දුවා දරුවාට ජාත්‍යන්තර තලයේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාල උපාධි ලබා ගැනීමේ ආයතන බවට පත් කරන බවත් රටට අවශ්‍ය වන්නේ සංවර්ධනයේ මන්දිර සහ සෞභාග්‍යයේ මන්දිරය බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.