ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ නැවතත් පරදින්න ඡන්දයට ඉදිරිපත් නොවන බවත් අධික ලෙස බදු වැඩිකර රටේ සමස්ත ජනතාව අර්බුදයට ඈද දමා රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය ආධී සියලු ක්ෂේත්‍රයන් අර්බුදයට පත්කර තිබෙන නිසා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අද රටේ ජනතාවට මුහුණ දීමට, ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට හෝ නොහැකි තත්වයක සිටින බවත් පිං ජනාධිපතිකමක් ලබාගත් ඔහු අද ජනතාව අතරට යාමට බයෙන් සිටින බවත් එස් එම් මරික්කාර් මහතා පැවසීය.

රට බංකොලොත් වුණේ 75 වසරක සාපය හේතුවෙන් නොවන බවත් අධික ලෙස ණය ගත් නිසා බවත් ශ්‍රී ලංකාව මේ වනවිට ඩොලර් බිලියන 90 ක් ණය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය.

ඊයේ (25) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

ඩොලර් බිලියන 90 ක ණයෙන් ජේ ආර් ජයවර්ධන ඩොලර් බිලියන 4 ක් රණසිංහ ප්‍රේමදාස ඩොලර් බිලියන 1.7 කි , ඩි බී විජේතුංග ඩොලර් බිලියනයක් , චන්ද්‍රිකා කුමාරතුංග අඩොලර් බිලියන 3.1 ක් ගෙන තිබෙන බවත් මහින්ද රාජපක්ෂ ඩොලර් බිලියන 31 ක් ණය ගෙන තිබෙන බවත් මරික්කාර් මහතා කීවේය.

මහින්ද රාජපක්ෂ මෙතරම් ණය මුදලක් ගෙන තිබෙන්නේ නැව් එන්නැති වරයවල් හදන්න , ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපලවල් හදන්න , මිනිස්සු නැති සම්මන්ත්‍රණ ශාලා හදන්න බවත් මරික්කාර් මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මහතා මෙසේද පැවැසීය.

‘‘රනිල් වික්‍රමසිංහ සමඟ අපි අවුරුදු 20 ක් විතර වැඩ කරලා තිබෙනවා. අපි දන්න රනිල් වික්‍රමසිංහ පරදින්න ඡන්ද ඉල්ලන්නේ නෑ. හෙන ගහනවා වගේ බදු ගහලා තිබෙන නිසා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අද රටේ ජනතාවට මුහුණ දෙන්න නොහැකි වෙලා තිබෙනවා. බිල් වැඩිකරලා , රටේ දරුවන්ගේ අධ්‍යාපනය , අනාගතය විනාශ කරලා ජනතාවගේ රීරි මාංශ උරාබිලා එක ප්‍රසිද්ධ රැස්වීමක්වත් කරගන්න බැරි තත්ත්වයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත්වෙලා සිටිනවා. රාජ්‍ය උත්සව වලට විතරයි අද ජනාධිපතිවරයා සහභාගි වෙන්නේ. 2005 පස්සේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිනට ජනාධිපති වුණා මිසක් ඡන්දයකින් ඉල්ලන්නේ නෑ. ඔහු ජනතාව අතරට යන්න බයයි.

රට බංකොලොත් වුණේ 75 වසරක සාපය නිසා නෙවෙයි. ණය අරගත්ත නිසා තමයි රට බංකොලොත් වුනේ. ඩොලර් බිලියන 90 ක් අපි ණයයි. මේ ණයෙන් ජේ ආර් ජයවර්ධන අරගෙන තිබෙන්නේ ඩොලර් බිලියන 4 යි. මේ ණයෙන් රණසිංහ ප්‍රේමදාස අරගෙන තිබෙන්නේ ඩොලර් බිලියන 1.7 යි. ඩි බී විජේතුංග අරගෙන තිබෙන්නේ ඩොලර් බිලියනයයි. චන්ද්‍රිකා කුමාරතුංග අරගෙන තිබෙන්නේ ඩොලර් බිලියන 3.1 යි. මේ සියල්ල එකතු කළාට ඩොලර් බිලියන 9.8 ක් වෙනවා. මහින්ද රාජපක්ෂ අරගෙන තිබෙනවා ඩොලර් බිලියන 31 ක්. මහින්ද රාජපක්ෂ මෙතරම් ණය මුදලක් අරගෙන තිබෙන්නේ නැව් එන්නැති වරයවල් හදන්න. ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපලවල් හදන්න , අධිවේගි මාර්ග හදන්න , මිනිස්සු නැති සම්මන්ත්‍රණ ශාලා හදන්න. ණය අරගෙන වැඩ කළාම තමයි වැඩියෙන් හොරකම් කරන්න පුලුවන් වෙන්නේ. ලෝකයේ දියුණු වෙන කිසිදු රටත් මෙවැනි දේවල් කරන්නේ නෑ. ආයෝජකයෙක් ගෙනල්ලා ඒ ආයෝජකයා මාර්ගයෙන් තමයි සංවර්ධන ව්‍යාපෘති සිදුකරන්නේ.

මහින්ද රාජපක්ෂව ජනාධිපති කළේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස. රාජපක්ෂලාට සුනාමි වංචාව සම්බන්ධයෙන් චෝදලා එල්ල වෙලා තිබියදී ගෙයක් ගෙයක් ගානේ ගිහින් මහින්ද රාජපක්ෂව ජනාධිපති කළේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස. මහින්ද රාජපක්ෂගේ කාලයේ සිදුවුණ හොරකම් වංචා දූෂණ නිසා රට බංකොලොත්වුණානම් , රාජපක්ෂවරු ගත්ත ණය නිසා රට බංකොලොත් වුණානම් ඒ්කට ජනතා විමුක්ති පෙරමුණේ පිරිස වගකිව යුතු නැද්ද?

එල් ටී ටී ඊ සංවිධානය අනුගමනය කළේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය, රට ලේ විලක් කරලා , රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට රට පත්කරේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස. 75 වසර ඇතුළත තමයි ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා සමඟ එකතු වෙලා ආණ්ඩුවක් නිර්මාණය කළේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂව ජනාධිපති කළෙත් ජනතා විමුක්ති පෙරමුණ. ඒ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති වෙලා හිටියේ අනුර කුමාර දිසානායක. ඔහු එක වැවක් හැදුවද? ජනතා විමුක්ති පෙරමුණේ චන්ද්‍රසේන විජයසිංහ තමයි ධීවර ඇමැති වෙලා හිටියේ. එක මාලු කර්මාන්ත ශාලාවක් හැදුවද? ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත ග්‍රාමීය ආර්ථික ඇමැතිධූරය දැරුවා ඔහු එක සමුපාකාරයක් හැදුවද? රට අසාර්ථක රාජ්‍යක් බවට පත් කරන්න , ණය බරින් මිරිකුණ රාජ්‍යයක් බවට ලංකාව පත් කරන්න මහින්ද සහ චන්ද්‍රිකා සමඟ දායක වුණේ ජනතා විමුක්ති පෙරමුණ.

2001 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ කෝටි 45,000 ක ආධාර ආයෝජකයෝ ලංකාවට ගෙනාවා. උද්ඝෝෂණය කරලා සියලු ආයෝජකයන්ව රටින් එලවලා දැම්මා. එදා පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරලා තිබුණානම් අද රටට මේවැනි තත්ත්වයක් උදා වෙන්නේ නෑ.

රාජ්‍ය ආදායම වැඩි කළොත් පමණයි බදු අඩු කරන්න පුලුවන්, බදු අඩු කළොත් පමණයි භාණ්ඩ වල මිල අඩුවෙන්නේ. භාණ්ඩ වල මිල අඩු කළොත් පමණයි ජනතාවට සහනයක් ලබාදෙන්න පුලුවන් වෙන්නේ. අපනයනය වැඩි කිරිමෙන් , අලුත් වෙළඳපොලවල් තුළට ඇතුළත් වීමෙන් සහ විදේශ ආයෝජන ගෙන ඒමෙන් රටේ රාජ්‍ය ආදායම වැඩිකරන්න පුලුවන්. රටේ සෞඛ්‍ය වෙළඳපොල විවෘත කරන්න ඕන. අධ්‍යාපන වෙළඳපොල විවෘත කරන්න ඕන. තොරුතරු තාක්ෂණ වෙළඳපොල විවෘත කරන්න ඕන. මූල්‍ය වෙළඳ පොල විවෘත කරන්න ඕන. ‘‘