කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පනත් කෙටුම්පත කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන්නේ නම් එයට සංශෝධන ගෙන ආ යුතු බවද එසේ නොමැතිනම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා පුලුල් සමාජ කතිකාවක් ඇති කර අවසන් තීරණයක් ගත යුතු බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

කොතලාවල පනත පිළිබද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටුව සිය නිර්දේශ ජනාධිපති ගෝඨාය රාජපක්ෂට ලිඛිතව දැනුම්දී ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයත්, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කළ යුතු බවය.

ඒ අතරම ආරක්ෂක අංශයේ නිලධාරීන් නොවන උපාධි අපේක්ෂකයින් ඇතුළත් කරගැනීමේදී ඉසෙඩ් අගය මත පදනම්ව විනිවිධභාවයකින් යුතුව ළමුන් ඇතුළත් කරගත යුතු බවද සංශෝධනය අතරට එක් කර තිබේ.

දැනට මිලටරි සාමාජිකයින් බහුතරයක් සිටින පාලක සභාව සිවිල් සාමාජික බහුතරයක් පත් කළ යුතු බවට වන සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ දැක්වේ.

මෙම සංශෝධන ඉදිරිපත් නොකරන්නේ නම් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැුස්වීමේදී එකගවූ පරිදි පාර්ලිමේ්න්තු තේරීම් කාරක සභාවක් පත් කර නිශ්චිත කෙටි කාලයක් ඇතුළත පුලුල් සමාජ කතිකාවක් ඇති කර පොදු එකගතාවයකින් යුතුව මෙය ඉදිරිපත් කළ යුතු බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ස්ථාවරය වැඩිදුරටත් පැහැදිළි කරමින් සදහන් කරයි.