ඇමරිකානු ඩොලර් මිලියන තුනක් වටිනා තත්වයෙන් බාල බෙහෙත් කුප්පි 22 500ක් පිලිබදව වාර්තා වී ඇති බවත් සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙස පොලිසිය භාර අමාත්‍ය ටිරාන් අලස්ගෙන් ඉල්ලා වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශයක් කර තිබෙනවා.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ විධායක අධ්‍යක්ෂ විජිත් වික්‍රමරත්න මහතාගේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස භාවිතා කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකව මුලා කරමින් මෙම ඖෂධ සමාගම ඖෂධ මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කොට ඇති බවත් මෙම මුදලින් සැලකිය යුතු කොටසක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා විසින් මේ දක්වා ගෙවා ඇති බවට වාර්තා වන බැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව සිවිල් සංවිධාන ප්‍රකාශ කළේය.

විගනන වාර්තා වලින් චෝදනා එල්ල වූ සෞඛ්‍ය බලධාරීන්ට දඬුවම් කරන්නේ කවදාද? වෛද්‍ය චමල් සංජීව ප්‍රශ්න කරයි.

අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන්,
ඉන්දියාවෙන් ගෙන් වූ
එන්නත් කුප්පි 22,500ක්
ඉවත් කරයි..!
අදාල එන්නත එන්.එම්.ආර්.ඒ ලියාපදිංචියෙන්
තොරව ගෙන්වූ එකක්.

දිවයින පුරා රෝහල් හතරක රෝගීන්ට අදාලව, එකී එන්නත අහිතකර ප්‍රතික්‍රියා පෙන්නුම් කර ඇති අතර, ඒ හේතුව මත අදාල එන්නත් ඛාණ්ඩය භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

අදාල එන්නත නිෂ්පාදනය කරනු ලබන ඉන්දියානු සමාගම, Livealth Biopharma Pvt Ltd නම් වේ. එම සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ, Isolez Biotech Pharma Ag Ltd. සමාගම වන අතර සිය රෝගීන් සදහා එකී එන්නත භාවිතා කළ මහනුවර මහරෝහල, කොළඹ ජාතික රෝහල, මාතලේ සහ මාතර යන රෝහල් වෛද්‍යවරු විසින්, එන්නතේ අහිතකර ප්‍රතික්‍රියා පිළිබදව පැමිණිලි කර තිබේ.

Immunoglobulin නිස්සාරණය කරනු ලබන්නේ ඒවා පරිත්‍යාග කරන දායකයන් විසිනි. එබැවින්, එවැනි එන්නතක් නිෂ්පාදනය කිරීමේ දී, නිෂ්පාදන ක්‍රියාවලිය ඉතාමත්ම විධිමත් එකක් වීම අත්‍යවශ්‍ය බව පැවසේ.

මේ ආකාරයට දිගින් දිගටම මෙරටට ඖෂධ ගෙන්වීම හරහා නිසි ප්‍රමිතිය පරීක්ෂණ කිරීමෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් හානි වන තත්වයක් යටතේ මේවාට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.