ගොවීන්ගේ වී අඩු මිලට මිලදී ගැනීමට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙකුට රජය අවස්ථාව ලබාදීම හේතුවෙන් තව මාස කිහිපයකින් පාරිභෝගිකයාට අධික මිලකට හාල් මිලදී ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.
රටේ සමස්ථ ගොවීන්ගේ වී අඩුවට කිරා ගන්න මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනාට අවස්ථාව ලැබී ඇත්තේ රටේ සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් කඩා වැටී ඇති නිසා බවත් සමගි ජනබලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරන කෘෂිකර්ම ප්‍රතිපත්තියට ආචාර්ය හර්ෂ ද සිල්වා ආරම්භ කළ ශක්ති සහල් ව්‍යාපාරයට එහා ගිය දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහා පරිමාන හාල් මෝල් හිමියන්ට යටවුණ නායකයෙන් නොවන බවත් සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් සකස් කරන බවත් නලින් බණ්ඩාර මහතා පැවැසීය.
අද (26) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහභාගි වූ අතර එහදී ඔහු මෙසේ පැවැසීය.
‘‘මහා පරිමාන වී මොල් හිමියන් ගොවියන්ගෙන් අඩු මුදලට වී මිලදී ගැනීම නිසා රජය විසින් ගොවීන්ගේ වී මිලදි ගැනිම යම් ප්‍රමාණයකට සිදුකරනවා. ඒ හරහා ගොවීන්ට යම් කිසි සාධාරණයක් ඉටු වෙනවා. නමුත් මෙවර රජය විසින් වී මිලදී ගැනීම සිදුකරන්නේ නෑ. වී මිලදී ගන්න මුදල් හමුවුණේ නෑ කියලා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසලා තිබෙනවා. රටේ සමස්ථ ගොවීන්ගේ වී අඩුවට කිරා ගන්න රජය මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනාට අවස්ථාව ලබාදීලා තිබෙනවා. රටේ මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනා ඉතුරු වෙලා සිටින්නේ සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන් විනාශ වෙලා තිබිම නිසයි. ආණ්ඩුවේ සිටින වෙළඳ ඇමැතිවරයාටත් මහ පරිමාණ වී මෝල් හිමිකරුවෙක්. ගොවීන්ගේ වී අඩු මිලට මිලදී ගැනීමට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනාට රජට ඉඩ ලබාදීම හේතුවෙන් තව මාස කිහිපයකින් පාරිභෝගිකයාට අධික මිලකට හාල් මිලදී ගැනීමට සිදුවෙනවා. කීරි සම්බා සහතික මිල 260 යි. නමුත් වෙළඳපොලේ කීරි සම්බා 380 ත් 400 ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වන්නේ.
පසුගිය දිනක පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියනවා ඔවුන්ගේ රජයක් යටතේ වී මිලදී ගැනීම සිදුකරන්නේ නෑ කියලා. කුඩා මධ්‍ය පරිමාන වී මෝල් ඇතිකරන්නේ නැ කියලත් ඔහු කියනවා. ඒ විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණට ලංකාවේ ලොකුම හාල් මෝල් හිමියත් උදව් කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලියන්නෙත් ලංකාවේ ලොකුම හාල් මෝල් හිමියා. මේ පිළිබඳව ගොවියන් අවබෝධ කර ගත යුතුයි.
ගොවීන්ට වර්තමාන රජයෙනුත් සාධාරණයක් ඉටු වන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණේ සිහින රාජ්‍යයෙනුත් ගොවියාට සාධාරණයක් ඉටු වෙන්නේ නෑ. මහ පරිමාණ වී මෝල් හිමිකරුවන්ට අදාල ප්‍රතිපත්තියක් තමයි ජනතා විමුක්ති පෙරමුණ තුළත් ක්‍රියාත්මක වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්නේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ න්‍යාය පත්‍රයක් අනුවයි.
නමුත් යහපාලන ආණ්ඩුව කාලයේ ආචාර්ය හර්ෂ ද සිල්වා ශක්ති සහල් ව්‍යාපාරය නමින් ශක්තිමත් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළා. කුඩා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන් ඒකාබද්ධ කරගෙන මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඒ හරහා වී සඳහා හොද මිලක් ගොවියන්ට ලැබෙන්න සහ සාධාරණ මිලට හොද හාල් වෙළඳපොලට යවන්න වැඩපිළිවෙලක් ඒ හරහා ක්‍රියාත්මක වුණා. සමගි ජනබලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරන්න කෘෂිකර්ම ප්‍රතිපත්තියට ආචාර්ය හර්ෂ ද සිල්වා ආරම්භ කළ ශක්ති සහල් ව්‍යාපාරයට එහා ගිය දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහ පරිමාන හාල් මෝල් හිමියන්ට යටවුණ නායකයෙන් නෙවෙයි. ගොවීන්ගේ අවසාන බලාපොරොත්තුව වන්නේ සමගි ජනබලවේග ආණ්ඩුවක් නිර්මාණය කිරිමයි. ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා වෙන්නේ සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ පමණයි.
2024 ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. ජනාධිපතිවරණයට තිබෙන්නේ ඉතාම සුලු දින ගණනක්. මැතිවරණ හකුළන්න උප්පරවැට්ටි දාන්න උත්සහ කරන්න එපා කියලා අපි රජයට කියන්න කැමැතියි. ජනාධිපතිවරණය අහෝසි කිරිම තමයි ආණ්ඩුවට තිබෙන එකම උප්පරවැට්ටිය. ආණ්ඩුව උත්සහ කරන්නේ 2025 අගෝස්තු වනතුරු විධායක අගමැතිවරයෙක් යටතේ රට ඉදිරියට අරගෙන යන්න. නමුත් සමගි ජනබලවේගය වර්තමාන ආණ්ඩුවට වැඩියෙන් එක දවසක්වත් බලයේ රැඳි සිටිමට ඉඩ ලබාදෙන්නේ නෑ.
විධායක ජනාධිපතිධූරය අහෝසි කරන වැඩපිළිවෙලට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගන්න ආවොත් එම යෝජනාව අපි පරාජයට පත් කරනවා. රටේ ජනතාව සමඟ එකතුවෙලා ජනමත විචාරණයක් තියන්න ආවොත් ඒකත් අපි පරාජයට පත් කරනවා. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන මුවාවෙන් ආණ්ඩුව උත්සහ කරන්නේ ඔවුන්ගේ බලය තව අවුරුද්දකින් දීර්ඝ කර ගන්න.
සමගි ජනබලවේගය නිර්මාණය කරන සන්ධානයට රටේ සිටින දේශාපාලන ව්‍යාපාර , සිවිල් සංවිධාන , සිවිල් ක්‍රියාකාරීන් , වෘත්තිකයන් , ව්‍යාපාරකයින් ඒකරාශි කර ගන්නවා. ඔවුන් සියලු දෙනාම සමගි ජනසන්ධානය සමඟ එකතුවෙලා සිටිනවා. සමගි ජනබලවේගයේ යම් යම් මතවාද අර්බුද තිබෙනවා. නමුත් ඒ සියල්ල විසදාගෙන සමගි ජනබලවේගය ජයග්‍රහනය කරා ගමන් කරනවා. සමගි ජනසන්ධානය නිර්මාණය කිරිමට ඒ කිසිම දෙයක් බාධාවක් වෙන්නේ නෑ. “
සමගි ජනබලවේගයේ දොරටුව පාඨලිට විවෘතයි
‘‘පාඨලි චිම්පික රණවක පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරඟ කළා. නමුත් ඔහු දේශපාලනමය වශයෙන් සමගි ජනබලවේගය සමඟ කටයුතු කළේ නෑ. ඔහු වෙනත් දේශපාලන ව්‍යාපාරයකට අද නායකත්වය ලබාදෙනවා. ඒක ප්‍රශ්යක් නෑ. සමගි ජනබලවේගයේ දොරටුව පාඨලි මන්ත්‍රීවරයාට විවෘතයි. ඔහුටත් ඔහුගේ දේශපාලන ව්‍යාපාරයටත් සමගි ජනසන්ධානය විවෘතයි.‘‘
රනිල් සහ සජබ ප්‍රතිපත්ති අතර ලොකු වෙනසක් නෑ
‘‘රනිල් වික්‍රමසිංහ කියන්නේ අපි හිටපු පක්ෂයේ නායකයා. ඔහුගේ ප්‍රතිපත්ති සහ සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති අතර ලොකු වෙනස් කමක් නෑ. ඔහු පොහොට්ටුව ආරක්ෂා කිරිම නිසා ඔහු සමඟ සාකච්ඡාවකටවත් යන්න බෑ. ජනාධිපතිවරයා පොහොට්ටු අත්හැර අවොත් අපිට සාකච්ඡා කරන්න පුලුවන්.‘‘
කතානායකවරයාට විරුද්ධව විශ්වාසභාංග යෝජනාවක්
‘‘විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු තීන්දුවක් ගත්තා වර්තමාන කතානායකවරයාට විරුද්ධව විශ්වාසභාංග යෝජනාවක් ඉදිරිපත් කරන්න. කතානායකවරයාට පාර්ලිමේන්තුව තුළ දිගටම කටයුතු කළේ පක්ෂග්රාහීව. කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ යුත්තේ අපක්ෂපාතීව. පසුගිය කාලයේ කතානායක කටයුතු කළේ ආණ්ඩුවේ මතයට. කතානායකවරයා අධිකරණ තීන්දු නියෝග සතයකටවත් මායිම් නොකර කටයුතු කර තිබුණා. එලෙස කතානායකවරයාට කටයුතු කරන්න බෑ”