විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස පසුගිය සතියේදී වැඩි අවධානයක් යොමුකළේ කාන්තාවන්ට එල්ලවන හිංසනයන්ට එරෙහිව කටයුතු කිරීම ගැනය.

‘‘තැඹීලි පැහැයෙන් ලොව බබලමු’’ තේමාවෙන් යුතුව දින දොළහක වැඩසටහනක් සූදානම් කර තිබුණේ ජාත්‍යන්තර කාන්තා හිංසනය පිටු දැකීමේ දිනය මුල් කරගනිමිනි. එහි එක් වැඩසටහනක් සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. සමගි වනිතා බලවේගය විසින් සංවිධානය කර තිබූ එම වැඩසටහනට සජිත් පැමිණියේ තැඹිලි පැහැයෙන් යුත් කමීසයක් ඇදගෙනය. එතැනට පැමිණි කාන්තාවන්ද තැඹිලි පැහැයෙන් යුත් ඇදුම් ඇදගෙන පැමිණ සිටියහ.

කාන්තා හිංසනයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් වෙන් කරතිබුණේ තැඹිලි පැහැය නිසා සියල්ලෝම තැඹිලි පැහැයෙන් සැරසී පැමිණ තිබුණි.

‘‘සමගි ජන බලවේගයේ පාට වෙන්නේ කහ පාටයි, කොළ පාටයි. ඒ දෙකට තැඹිලි පැහැයත් අපි එකතු කරන්න යෝජනා කරනවා. සමගි ජන බලවේගය කාන්තාවන්ට සිදුවන හිංසනයන්ට විරුද්ධ බව පෙන්වීමට අපි තැඹිලි පැහැය එකතු කරනවා’’සජිත් කීවේය.

රෝහිණි කවිරත්න මන්ත‍්‍රීවරිය එහි පැමිණ සිටියේ කාන්තා හිංසනයේ වින්දිතයෙක් ලෙසය. සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලය දින දොළහක් පුරාම පක්ෂ කාර්යාලය තැඹිලි පැහැයෙන් සරසන්නේ සියලුම කාන්තා හිංසනයන්ට එරෙහිවීමට පක්ෂයේ ඇති කැපවීම පෙන්නුම් කරමිනි.

අය වැය කතා

අය වැය විවාදයට සජිත් පසුගිය සතියේදී සහභාගීවූයේ කතා කිහිපයක්ම පවත්වමිනි. කාන්තාවන්ගේ හා පාසල් ළමුන්ගේ ගැටලු ගැන ඔහු අවධානය යොමු කළේය. සියලුම ක්ෂේත‍්‍ර ආවරණය වන ආකාරයට ඔහු කළ කතාව කාගේත් අවධානය යොමු කර තිබුණි.

‘‘මේ කතාව ජනතාව අතරට අරගෙන යන්න ඔ්න. අපි මේ කතාව ජනතාව අතරට අරගෙන යමු’’මන්ත‍්‍රී කණ්ඩායම කළ යෝජනාව කාගේත් අවධානයට යොමුවූවේය.

විපක්ෂ නායක කාර්යාලයේදී මන්ත‍්‍රීවරු කතා බහ කරමින් සිටියදී මරික්කාර් මන්ත‍්‍රීවරයා තමන්ගේ ජංගම දුරකතනයෙන් පෙන්වූයේ පියල් නිෂාන්ත මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවට ෆේස් බුක් පිටුවක දක්වා තිබූ ප‍්‍රතිචාරයන්ය.

‘‘ළමුන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ දෙනවා කියලා නායකතුමා ජනධිපතිවරණයේදී කිව්වම හිනා වුන අය දැන් ඒ යෝජනා ක‍්‍රියාත්මක කරනවා’’තලතා අතුකෝරළ මන්ත‍්‍රීවරිය කීවාය.

‘‘ආණ්ඩුව කරන වැඩ දිහා බැලුවම ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පැත්තකට දාලා කියල නම් පේනවා. අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් හරි දේවල් අරගෙන කරනවා නම් හොදයි’’මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.

ඒ අවස්ථාවේදීම සජිත් ජංගම දුරකතනය ගෙන පියල් නිෂාන්ත මන්ත‍්‍රීවරයා කළ කතාවට ප‍්‍රතිචාරයක් දැක්වූවේය

‘‘අප කිහිපවිටකම් අවධාරණය කළ කාරණවක් පිළිබද අවධානය යොමුවීම ගැන සතුටු වන අතර ස්තුතිය පුදකරමු. මේ යෝජනා කෙරෙහි පළමුව උපහාසයද, ගැරහුම්ද අප වෙත එල්ලවූ නමුත් ඒවා උපේක්ෂාවෙන් දරාගැනීමට අපිට හැකිවූයේ අප කළ යේාජනාව හෘද සාක්ෂියට එකගව අවංකව කළ එකක් නිසාය. මේ යෝජනාව වචනයට සීමා නොවී කඩිනමින් ක‍්‍රියාත්මක කරනු ඇතැයි විශ්වාස කරමු’’සජිත් ෆේස් බුක් පිටුවට ගොස් තමන්ගේ ප‍්‍රතිචාරය සටහන් කළේය.

අර්ජුන ගැන කතා

අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමත් සමග රංජිත් මද්දුමබණ්ඩාරට දුරකතන ඇමතුම් දුන් බොහෝ දෙනෙක් විමසා සිටියේ ඔහු සමගි ජන බලවේගය සමග එක්වන්නේද යන්නයි.

‘‘සති කිහියකට කලින් නායකතුමාඑක්ක කතා කරලා තිබුණා. අපි ඉදිරියට මොකද වෙන්නේ කියලා බලමු. අපි හැමෝම එකට එකතුකරගනෙ මේ ගමන ඉදිරියට යන්න ඔ්න’’රංජිත් මද්දුමබණ්ඩාර ඒ සියලු දෙනාටම දුන්නේ එකම උත්තරයකි.

මේ අතර ඔහු තවත් රහසිගත මෙහෙයුමකට පසුගිය සතියේදී අත තබා තිබුණි. ඒ ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය කෙරෙහි කළකිරී සිටින මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක් සමග සාකච්ඡුා කිරීමය. අය වැය විවාදය පැවැත්වෙන අතරවාරයේදී පාර්ලිමේන්තුවේදීම ඇතැම් මැති ඇමැතිවරු හමුවූයේ ඉදිරි මැතිවරණයකදී ඔවුන්ගේ සහාය ලබාගැනීම ගැන අවධානය යොමු කරමින්ය.

‘‘වංචා දූෂණවලට සම්බන්ධ හැර අනෙක් ඔ්නම කෙනෙක්ට අපේ පක්ෂයේ දොර ඇරලා තියෙන්නේ. හැබැයි මේක සැලුන් දොරක් නෙමෙයි. එන්න තමයි අපි දොර ඇරලා තියන්නේ’’සජිත් කීවේ මන්ත‍්‍රීවරයාට හිමි ගරුත්වය ලබාදීමට කටයුතු කරන ආකාරය ගැනත් සදහන් කරමිනි.