අසහනයට පීඩනයට පත් වු විරැකියාවෙන් පෙළෙන උපාධිධාරීන් 50000කට ආසන්න බවත් මොවුන්ට අදාළ විසදුම් වත්මන් රජයෙන් ලබා දෙන්නේ නැත්නම් සමගි ජන බලවේග රජයක් තුළ ලබා දෙන බවත් පසුගිය කාලයේ මේ ගැන තමා අවස්ථා රැසකදී පාර්ලිමේන්තුවේ කතා කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම උපාධිධාරියකුටම රැකියාවක් ලබා දීම මෙන්ම විවිධ අවස්ථා ලබා දී ව්‍යවසායකයන් වීමට අවස්ථාව ලබා දෙන බවත් ඒ සදහා මූලික හා කාරක ප්‍රාග්ධනය ලබා දිහ, රජයේ රැකියා මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ලබා දීම ද තමාගේ අරමුණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රාජ්‍ය පාලනය ඩිජිටල්කරණය කිරීම තුළ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයටද රැකියා ලැබෙන බවත් ඊට අමතරව තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරන බවත් ඒ තුළින් ද රැකියා උත්පාදනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බවකියා සිටියේ විපක්ෂ නායක කාර්‍යාලයේදී රැකියා විරහිත උපාධිධාරීන් සමග සිදු කළ සාකච්ඡාව අතරතුරදීය.

උපාධිධාරීන් ට මූලික ආදායමක් ලබා ගැනීමට හැකි තත්ත්වයක් ගෙන ඒම තම අභිලාෂය බවත් මෙය දේශපාලන සූදුවක් නොවන බවත් රජය මෙන් දේශපාලන සූදු හා ඇන්දවිලි තමා ක්‍රියාත්මක නොකරන බවත් රජය මේ අවස්ථාවේ තමන්ගේ ස්ථාවරය රැකගන්න විවිධ ඇන්දවීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට උපාධිධාරීන් ලියාපදිංචියක් කරන බවත් එය තනිකර මැතිවරණ ඇන්දවිල්ලක් දේශපාලන අභිලාෂ හිතේ තියාගෙන රජය එය කරන බවත් මේ විජ්ජාවලට හසු නොවන ලෙසත් ආණ්ඩුකාරවරයා ලවා කරන්නේද විජ්ජා බවත් මොවුන් උපාධිධාරීන්ට රැකියා ලබා දීමට පෙර ඔවුන්ගේ ගෝලයන්ට රැකියා දුන් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

උපාධිධාරීන් සියලු දෙනාගේ මූලික ආදායම සහතික කරන බවත් ඒ වැඩපිළිවෙළ තමා සතු බවත් රජය මෙන් තවදුරටත් ඇන්දවීම තමා නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.