විපක්ෂ නායකවරයාගේ ජීවිතයට සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ජීවිතවලට හානි කරන්න පොදුජන පෙරමුණේ සූදානමින් සිටින බවට තොරතුරු ලැබෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය.

පොදුජන පෙරමුණේ පිරිසට තිබෙන ප්‍රබලම තර්ජනය සජිත් ප්‍රේමදාස බවත් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගයට බලය ලබාදුන්නොත් හොරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව දඩුවම් හිමිවන බව සියලු දෙනා දන්නා බවත් අප්පුහාමි මහතා හෙතෙම කීය.

සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත් නමුත් පොහොට්ටුවේ පිරිස තවදුරටත් අතපය උස්සාගෙන වැරදි ආකාරයට එනවානම් ඒ විදිහට උත්තර දෙන්න සමගි ජනබලවේගය සූදානම් බවත් හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළේය.

හෙක්ටර් අප්පුහාමි මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය.

‘‘රටේ ආර්ථික , සමාජීය වශයෙන් සහ මිනිස්සුන්ගේ සිවිල් අයිතිවාසිකම් විනාශ කරන වැඩසටහනක් නිර්මාණය කළේ තාත්තලා පුතාලා බාප්පලා එකතුවෙලා. තාත්තා 2024 අයවැය ගැන පුරසාරම් කියමින් කතා කරනවා. පුතා කියනවා 2023 අයවැය යෝජනා 2024 අයවැයෙත් තිබෙනවා 2024 අයවැය වැඩක් නෑ කියලා. තාත්තා 2024 අයවැයට පක්ෂව ඡන්දය දෙනවා. පුතා අයවැයට ඡන්දය දෙන්න පාර්ලිමේන්තුවට ආවේ නෑ.

බදු සහන ලබාදීලා ගජමිතුරන්ට බදු සහන ලබාදීලා රටේ ජනතාව පීඩනයට පත්කරලා රටේ ආරථිකය විනාශ කරලා දාපු කණ්ඩායම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීලා තිබෙනවා. මේ පිළිබඳව විපක්ෂ නායකවරයා නොබියව පාර්ලිමේන්තුවේදී විමසීමක් සිදුකළා. මෙවැනි කොන්දක් තිබෙන්නේ සමගි ජනබලවේගයට සහ විපක්ෂ නායකවරයාට පමණයි.

රාජපක්ෂලා සිදුකළ හොරකම්වලට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න කොල්ලකාපු මුදල් නැවත රටේ ජනතාවට ලබාදෙන්න කොන්දක් තිබෙන්නේ විපක්ෂ නායකවරයාට පමණයි. රටේ මුදල් කොහේ හෝ රටක හංගලා තිබෙනවානම් ඒ ගැන සොයන්න ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් සමඟ සහ ජාත්‍යන්තරයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ සාකච්ඡා කරලා තිබෙන්නේ.

විපක්ෂ නායකවරයාගේ ජීවිතයට හානි කරන්න, සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ජීවිතවලට හානි කරන්න පොදුජන පෙරමුණේ පිරිස් සූදානමින් සිටින බවට තොරතුරු ලැබෙමින් තිබෙනවා. ලබන වසර වනවිට පොදුජන පෙරමුණේ පිරිසට තිබෙන ප්‍රබලම තර්ජනය සජිත් ප්‍රේමදාස බව ඔවුන් දන්නවා. සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය බලයට ආවොත් විතරයි ප්‍රජාතන්ත්‍රවාදීව මේ හොරුන්ට දඩුවම් දෙන්නේ කියලා සියලු දෙනා හදුනාගෙන තිබෙනවා.

සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළා. නමුත් පොහොට්ටුවේ පිරිස තවදුරටත් අතපය උස්සාගෙන වැරදි ආකාරයට එනවානම් ඒ විදිහට උත්තර දෙන්න සමගි ජනබලවේගය සූදානම්.

ශ්‍රේෂ්ඨාධිකරණය ආර්ථික ඝාතකයන් ලෙස නම් කළ පිරිස ආරක්ෂා කරයි කියලා ජනාධිපතිවරයා තුළින් බලාපොරොත්තු වුණේ නෑ. පොහොට්ටුවේ සිටින පිරිස පාර්ලිමේන්තුවේ මැරයන් ලෙස හැසිරෙන්නේ ජනාධිපතිවරයාගේ රැකවරණය යටතේ.

සමගි ජනබලවේගයට ජනතාව ජනවරම ලබාදී තිබෙන්නේ චන්ඩිකම් කරන්න , පාදඩකම් කරන්න නෙවෙයි. රටේ ජනතාව ජීවත් කළ යුතු වැඩපිළිවෙල පාර්ලිමේන්තුව තුළත් ආණ්ඩුව තුළත් ක්‍රියාත්මක කරන්න කියලා තමයි සමගි ජනබලවේගයට ජනතාව ජනවරම ලබාදීලා තිබෙන්නේ. ආණ්ඩුබලට ලබාගැනීමට නොහැකි වුණත් සමගි ජනබලවේගය විපක්ෂය තුළ සිටිමින් පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කරන්නේ රටේ නිවැරදි පාලනයක් ගෙනයාම සඳහා.

පිස්තෝල භාවිතා කරලා රට පාලනය කරන්න උත්සහ කරනවානම් ඒවා සිදුකරන්න සමගි ජනබලවේගය ඉඩලබාදෙන්නේ නෑ. ජනාතාව ජීවත් කරවන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සමගි ජනබලවේගය සූදානම් රට පරණ තිබුණ තැනට ගෙනියන්නත් සූදානම්.

රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න පොහොට්ටුවට කොන්දක් නෑ. කොන්ද කෙලින් තියාගෙන තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න පොහොට්ටුවට ශක්තියක් නෑ. ඒ තීරණ ක්‍රියාත්මක කරන්න බැරි කණ්ඩායමක් ඇවිත් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පුර්ණයෙන් විනාශ කර තිබෙනවා. ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ එවැනි දේ සිදු කරන්න සමගි ජනබලවේගය ඉඩ ලබාදෙන්නේ නෑ.

පාර්ලිමේන්තුව තුළ දකින වැරදි ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග කතානායකවරයා ගත යුතුයි. නමුත් කතානායකවරයා එලෙස කටයුතු කරන්නේ නෑ. ඉදිරියේදී කතානායකවරු පත් කළ යුත්තේ පක්ෂවලින් නෙවෙයි. කතානායකවරු පත් කළ යුත්තේ ස්වාධීන තීරණ ගතයුතු පුද්ගලයෙක්.

මේ සියලු වැරදි ක්‍රමවේද වෙනස් කරලා. අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරලා අලුත් ආණ්ඩුවක් හදලා කටයුතු කරන්න සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය සූදානම්.‘‘


ප්‍රශ්නය – ඊයේ දවසේ කාතානායකවරයාගේ හැසිරීම පිළිබඳ ඔබතුමා දකින්නේ කොහොමද?

පිළිතුර – කතානායකවරයා මධ්‍යස්ථ වුණේ නෑ. පාර්ලිමේන්තුවේ මැද කොටසට පහුකරගෙන අනිත් කොටසට එන්න බෑ. එහෙම ආවොත් පක්ෂ මාරු කිරීමක් ලෙස තමයි සලකන්නේ. මේ ගැන කතානායවරයා තීන්දුවක් ගත යුතුයි. පෙරේදා දිනයේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට සන්නද්ධව පාර්ලිමේන්තුවට එන්න කියලා තිබෙනවා. ඒ ගැන අපිට තොරුතුරු ලැබුණා. විපක්ෂ නායකවරයා කතා කරන කතාව කතානායකවරයාගෙන් ආණ්ඩු පක්ෂයේ සන්විධායකවරුන් අතටත් පසුව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතට ගිහින් තිබෙනවා.
මේ ආකාරයට සිදුවුණොත් ජනතාව වෙනුවෙන් කතා කරන්න වෙන්නේ නෑ. එහෙම කතාකරන පිරිස් මරලා දායි.

ප්‍රශ්නය – ආණ්ඩුව කිව්වොත් විපක්ෂ නායකවරයාත් ඊයේ පාර්ලිමේන්තුවේදී චන්ඩි පාට් දැම්මා කියලා.

පිළිතුර – අපිට නිවට වෙන්න බෑ. පාර්ලිමේන්තුවේදී විශාල කණ්ඩායමක් අපිට පහර දෙන්න ආවා. නමුත් අපි විනය ගරුකව පාර්ලිමේන්තුව තුළ හැසිරුණා. ජනාතාව අපිව පත්කරලා එව්වේ මේ ආකාරයට පාර්ලිමේන්තුවේ හැසිරෙන්න නෙවෙයි. තවදුරටත් බුදියගෙන ඉන්න අපි සුදානම් නෑ. විපක්ෂ නායකවරයා පිරිමියෙක් විදිහට තමා පාර්ලිමේන්තුවේදී කිව්වේ ඕනම දේකට සූදානම් කියලා.
මස් කඩ කාරයෝ වගේ පාර්ලිමේන්තුවේ හැසිරෙන්න ජනතාව ජන වරමක් ලබාදීලා නෑ. රටේ ජනතාව ජීවත් කරවන වැඩපිළිවෙලක් හදන්න තමයි පාර්ලිමේන්තුවට ජනතාව මන්ත්‍රීවරු එවලා තිබෙන්නේ.

ප්‍රශ්නය – සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්න තීන්දුවට අනුව වැරදිකරුවන් වුණ පිරිසට දඩුවම් ලබා දෙන්න පුලුවන් වෙයිද ?

පිළිතුරු – වගකීමෙන් කියනවා චෝදනා ලැබූ සියලු දෙනාට අපි දඩුවම් ලබාදෙනවා. සමගි ජනබලවේගයේ වැඩපිළිවෙල පිළිබඳ ආරංචි වෙලා තමයි පොහොට්ටුවේ පිරිස නයි පොලොන්ගු වගේ හැසිරෙන්නේ. මේ සියලු දෙනා අත්අඩංගුවට ගෙන සොරකම් කළ සියලු ධනය රටේ ජනතාවට ලබාදෙන්නත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මයි.