විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුව

විධායක ජනාධිපති ධූරය අනිවාර්යෙන්ම අහෝසි කල යුතුව තිබෙන නමුත්, ජනතාව ප්‍රතික්ෂේප කළ දූෂිත දේශපාලුවන් අතේ බලය රඳවාගැනීමට අටවන උගුලක් ලෙස විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම භාවිතා කිරීමට ඉඩ දිය නොහැකි බව එස් එම් මරික්කාර් මහතා පවසනවා.

මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ සමඟි ජන බලවේග ආණ්ඩුවක් තුළ අනිවාර්යෙන්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කටයුතු කරන බවත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වැනි වැදගත් තීන්දුවක් ගත යුත්තේ ජනවරමකින් තේරී පත්වන, ජනතාව පිළිගත් ආණ්ඩුවකින් පමණක් බවත්ය.

නැවතත් රට ලේ විලක් වන අර්බුදය වළක්වා ගැනීමට, ජනාතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අවස්ථාව ලබාදිය යුතු අතර මන්ත්‍රීවරයා ආණ්ඩුවට අවධාරණය කරමින් කියා සිටියේ ජන වරමින් ජනතාව තින්දු කරන ආකාරයට තීන්දු ගන්නා ලෙසයි.

“රාජ්‍ය නොවන සංවිධාන විධායක ජනාධිපතිධූරය ගැන කතා කරනවා. නමුත් ඔවුන් බදු බර අඩුකරන්න කියලා කතා කළේ නෑ , ගෙවල් ලක්ෂ 9 විදුලිය විසන්දි කරන අවස්ථාවේ වචනයක් කතා කළේ නෑ. ළමයි හාමතේ ඉන්න එක ගැන වචනයක් කතා කළේ නෑ. විධායක ජනාධිපතිධුරය අහොස් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබිය යුතුයි. නමුත් පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් නෑ. රට ලේ විලක් වන අර්බුදය වළක්වා ගන්න ජනාතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතයට අවස්ථාව ලබාදෙන්න. ඒ අවස්ථාව ලබාදීලා ජනතාව තින්දු කරන ආකාරයට තීන්දු ගන්න පුලුවන්.”