අද වනවිට විදුලි අර්බුදය ඇති වී ඇත්තේ විදුලි බලාගාර වල ප්‍රශ්නයක් නිසා නොව ආණ්ඩුවේ අකාර්යක්ෂම මුල්‍ය කළමනාකරණය නිසා අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් නොමැති වීම නිසා බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරැණාතිලක මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“අද ඇතිවෙලා තියෙන අර්බුද ගැන වගේ වගක් නැතුව සියලුම ප්‍රශ්න ඇති කළේ පසුගිය රජය හැටියට තමයි අවුරුදු දෙකක් ගියාට පස්සෙ පෙන්වන්න හදන්නේ. අපි දැක්කා සමහරු කියනවා මේ විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව පහුගිය ආණ්ඩුව බලාගාරයක් වත් හැදුවේ නැති නිසා කියලා. ඇත්ත වශයෙන්ම රටේ ඕනම කෙනෙක් දන්නවා වර්තමානයේ ඇතිවෙච්ච මේ විදුලි අර්බුදයට හේතුව බලාගාර වල ප්‍රශ්නයක් නොවන බවත් තියෙන බලාගාර වලටත් තෙල් ටික සපය ගන්න බැරි වෙච්ච නිසා තමයි මේ අර්බුදය ඇතිවුණේ කියලා. රජයට ඩොලර් නැතුව ප්‍රශ්න උග්‍ර වෙලා තියෙන මොහොතක මේ ප්‍රශ්න ඇති වෙන තුරු බලාගෙන ඉඳලා අද ජනතාව සම්පූර්ණම පීඩාවට පත් කරලා ඒකත් පසුගිය රජය පිට දැමීමට කටයුතු කරන බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

තව දුරටත් පැවසු ගයන්ත කරැණාතිලක මන්ත්‍රීවරයා ,

“අපි කල්පනා කරලා බැලුවොත් බලලා ආකාර හදලා තිබුනත් ඒ බලාගාර වලට ඩීසල් දෙන්නවත් ගල් අඟුරු සපයන්න ආණ්ඩුවට ඩොලර් තියෙනවද කියන එක රටේ ජනතාවට ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්න ඇති කළේ වෙන මොකක්වත් නිසා නෙමෙයි ආණ්ඩුවට මුදල් කළමනාකරණයක් නැහැ ඩොලර් පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ ඒ නිසයි මේ අර්බුදය ඇතිවුණේ.

කල්පනා කරලා බැලුවොත් පහුගිය රජය ගැන ආණ්ඩුව කියන නිසා කෙටියෙන් කියනවා නම් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට විශාල වැඩ කොටසක් පසුගිය රජය විසින් ඉටුකළා. එහි ප්‍රතිඵල හැටියට මන්නාරමේ දැවැන්ත සුළං බලාගාරයක් ඉදි වුනා ඒ වගේම සූර්ය බලයෙන් විදුලිය නිපදවීම සම්බන්ධව ක්‍රියාමාර්ග රාශියක් ඒ වකවානුවේ ගත්තා. වෙනම අමාත්‍යවරයෙකු යටතට ඒ විෂය පත් කරලා ඒකට අවශ්‍ය ණය පහසුකම් පවා ජනතාවට ලබා දීලා කටයුතු කරපු බව කවුරුත් දන්නවා.

අද මේ රටේ පැය ගණන් විදුලිය කපන්නේ විදුලි බලාගාර වල අර්බුදයක් නිසා නෙමෙයි. ඒ විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඉන්ධන ටික රජයට දීගන්න බැරි උන නිසා. විදුලි බලාගාර මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ රජයට තෙල් දෙන්න බැරි වෙච්ච නිසා. එදා අපිට මතකයි එක දවසකට වැළැක්විය නොහැකි කාර්මික දෝෂයක් නිසා විදුලිය කැපීමක් සිදු උනා ම වර්තමානයේ මේ ප්‍රශ්න වලට වගකියන්න කටයුතු කරන උදවිය කරපු ප්‍රකාශ අපිට මතකයි. එදා කිව්ව එක පාරක් විදුලිය කැපීමක් සිදු වුණොත් සභාපති වරයා අස්විය යුතුයි කියලා. දෙවැනි වතාවටත් විදුලි කැපීමක් සිදු වුණොත් ඇමතිවරයා අස්විය යුතුයි කිව්වා. තුන්වෙනි වතාවටත් විදුලියේ කපන්න සිදු වුණොත් මුළු ආන්ඩුවම ගෙදර යා යුතුයි කිව්වා .එහෙම කියපු උදවියට තමයි අද උදේට හවසට පැය ගණන් දරුවන්ට පාඩම් කරන්න විදියක් නැහැ ජන ජීවිතය සම්පූර්ණම අඩාල වෙන විදියට මේ විදුලි කැපිල්ල සිදු කිරීමට සිදු වෙලා ඇති බව” මන්ත්‍රීවරයා කියා සිටියේය

මේ බව කියා සිටියේ අද(01) විපක්ෂ නායක කාර්යාලයේ දීය.