යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත ඇතුළු ඉදිරියේදී ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ‍පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ එකමුතුව කමිටු කිහිපයක් පත් කර තිබේ.

ඒ අනුව යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා වන කමිටුව පත් කර ඇත්තේ, මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

එහි සෙසු සාමාජිකයින් ලෙස ඉම්තියාස් බාකිර් මාකර්, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න ඇතුළු මන්ත්‍රීවරුන් පත් කර තිබේ.

අදාළ කමිටුව මේ වනවිට යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් අදහස් විමසීම ආරම්භ කර ඇතැයි එහි ප්‍රකාශකයකු පැවසීය.

ඔහු පැවසුවේ, සියලු පාර්ශ්වවල අදහස් විමසීමෙන් අනතුරුව යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂ එකමුතුවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර ත්‍රස්ත්‍ර විරෝධි පනත් කෙටුම්පත අධ්‍යයනය සඳහා මහාචාර්ය ජී.එල්. පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට විපක්ෂ එකමුතුව පියවර ගෙන තිබේ.

මහ බැංකු පනත් කෙටුම්පත සම්බ්න්ධයෙන් අධ්‍යයනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අදාළ කමිටුව පත් කර ඇත්තේ, ඒරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ලබන 7 වැනි දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.