වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා අද (26) රට පුරා ගුරු – විදුහල්පති සංගම් අසනීප නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා.

මේ හේතුවෙන් දිවයින පුරා පාසල්වල පාසල් දරුවන්ද පැමිණීමේ විශාල අඩුවක් දක්නට ලැබුණු අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් සඳහන් කරන්නේ තම ඉල්ලීම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් සියලු ගුරුවරුන් හෙට කොළඹට කැඳවන බවයි.

ඒ අනුව අද දිවයිනේ බොහෝ පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු අඩාලවීමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර අද තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තීය ක්‍රියාමාර්ග පැවතීම හේතුවෙන් දෛනික රාජකාරි කටයුතු බිඳ වැටුණා.

වැටුප් විෂමතාවයන් විසදීම ඇතුළු තවත් ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන් මෙන්ම විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ද අසනීප නිවාඩු වාර්තා කර සේවයට පැමිණීමෙන් වැළකී සිටියා.

කෙසේවෙතත් ගුරු – විදුහල්පති විරෝධතා පිළිබදව අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ කෙතෙක් වර්ජන විරෝධතා කළද මේ වසරේ වැටුප් වැඩිකිරීමට තරම් මුදලක් භාණ්ඩාගාරය සතු නොවන බවයි.