සීනි සඳහා ගහන බද්ද වෙනස් කිරීම තුළ විශාල වංචාවක් සිදුවූ බවත් ශත 25ට තිබූ බද්ද රුපියල් 50ක් කළ බවත් එසේ බද්ද වැඩි කිරීමට පෙර මෙට්‍රික් ටොන් 22000ක් ශත 25 බද්දට වෙළෙඳපොළට නිකුත් කිරිම නිසා රජයට කෝටි 100ක බදු ආදායම පාඩු වී ඇති බවත් මෙම සීනි මෙට්‍රික් ටොන් 22000 හොර රහසේ නිකුත් කිරීම නිසා මෙම පාඩුව සිදුවූ බවත් මෙම පාඩු මඟහරවා ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අනාවරණය කර සිටියේ ඊයේ (4) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ මැදිරිගිරිය ලංකාපුර මහා විද්‍යාලයට 44 වැනි සුහුරු පන්තිකාමරය ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ මාෆියාවේ කොටස්කරුවන් වන ගජමිතුරන් සුරුකීමට රජය කටයුතු කර ඇති බවත් මෙවැනි වංචාවලට ඉඩ දී ඇත්තේ අනාගතයේ එන මැතිවරණ සඳහා වාසි ලබා ගැනීමටදැයි සැකයක් මතුවන බවත් මේ බදු වංචාවට සෘජුවම රජය සම්බන්ධ බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුවී නැවත බදු පැනවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කැබිනට් සංශෝධන කරනවා වගේ ක්‍රිකට් පරිපාලනේ වෙනස් කරන්න බැහැ

අද වන විට ක්‍රිකට් ක්‍රිඩාව බලවතුන්ගේ බලාධිකාරයක් බවට පත්වී මුදල හා කප්පම් තුළින් බලාධිකාරය පවත්වා ගැනීම, දේශපාලනිකරණය වීම නිසා පරිහානියට පත්ව ඇති බවත් මේ සඳහා තාවකාලික විසදුම් අවශ්‍ය නොවන බවත් තිරසර දීර්ඝ කාලීන විසදුම් අවශ්‍ය බවත් ජනාධිපතිගේ, ආණ්ඩුවේ පැවැත්ම තකා බොරුවට කැබිනට් මණ්ඩලය සංශෝධනය කරනවා සේ ව්‍යාජ උප්පරවැට්ටි ක්‍රියාවලින් ක්‍රිකට් ගොඩගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සත්‍යවාදීව, යථාර්ථවාදීව, ප්‍රායෝගිකව මෙම සංශෝධන ක්‍රියාත්මක විය යුතු බවත් කිසිදු දේශපාලනඥයකුට කිසිදු ක්‍රීඩා සංගමයක තනතුරු හෙබවීමට ඉඩ නොදිය යුතු බවත් වෘත්තීය ක්‍රීඩාවේ නියැලී රටට ජය අත්කර දුන් ශූරයින්ට ක්‍රීඩා පරිපාලනය බාර දිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට එවැනි ශූරයන් පැත්තක දමා ධනබලය දේශපාලන බලය සහ ගජමිතුරු බලය නිසා ක්‍රීඩාව වැනසී ඇති යුගයේ පැලැස්තර විසදුම් නොදමා ස්ථිරසාර විසඳුමක් මේ සඳහා අවශ්‍ය බව යි.

මේ රජය බොහෝ අවස්ථාවල සිදු කරන්නේ වැරදි දෙයක් බවත් රජයේ ඇතැම් පාර්ශ්වයන් ක්‍රිකට් විනාශ කළ බලවතුන් පවා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ශූරයන් වූ බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට නොහැකි වූයේ දූෂණය නිසා බැවින් මෙවැනි තත්ත්වයකට අප රට නොයා යුතු බවත් ඒ සඳහා ජාති ආගම් කුල පන්ති පක්ෂ භේද නොතකා වටිනා පුද්ගලයන් දක්ෂ පුද්ගලයන් ක්‍රිකට් පරිපාලනයට යෙදිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සක්වලටත් කඩාකප්පල්කාරී ක්‍රියාවක්

සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන හැම තැනම විදුලිය විසන්ධි කිරිමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවත් දරුවන්ට සුහුරු පන්ති කාමර පන්ති ලබා දීමේ වැඩසටහන මෙසේ කඩාකප්පල්ලාරී කිරීම ගැන කණගාටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 44ක් සදහා රුපියල් ලක්ෂ 404ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.