අද දිනයේ දී නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංජය රාජරත්නම් මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීම සඳහා නිර්දේශ කර ඇති අතර ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගැනීම මීට පෙර අවස්ථා දෙකකදී කල්දැමීමට සිදුවුණා.

නීතිපති රාජරත්නම් මහතාගේ සේවා කාලය ලබන 26  වැනිදායින්  අවසන් වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නීතිපතිවරයාට මාස 6ක සේවා දිගුවක් ලබාදීම තුළින් සංජය රාජරත්නම් මහතා දෙසැම්බර් මස 31 දක්වා නීතිපති ධූරයේ තබාගැනීමට යෝජනාකර තිබේ.

කෙසේ වෙතත් අද සවස 2.00 ට  ඒ සම්බන්ධයෙන් නැවතත් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙන බවයි පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු සුදානමින් තිබෙන, රටේ සියලු ජනතාව ජනාධිපතිවරණයක් බලාපොරොත්තුවෙන් සිටින මොහොතක නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පසුගියදා සිය විරෝධය ප්‍රසිද්ධියේ පළ කළහ.

මේ පිළිබඳව අද පාර්ලිමේන්තුව තුලදී මහාචාර්ය ජී එල් පීරිස් මහතා කියා සිටියේ මේ අවස්ථාවේ වත්මන් නීතිපති සංජය රාජරත්නම් මහතාට සේවා දිගුව ලබාදීමෙන් රටේ ඉතාමත් ගෞරවනීය තනතුරක් වන නීතිපතිධුරයේ ගෞරවයට සහ ස්වාධීනත්වයට කැළලක් ඇතිවිය හැකි බවයි.

එතුමා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ මේ වන තෙක් නිතිපතිවරු 47ක් තම සේවය ඉටුකර ඇති බවත් මෙයින් එක් නිතිපතිවරයෙකුගේ හෝ සේවා කාලය දීර්ඝ කර නොමැති බවත් එසේ තිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙන මොහොතක සේවා දිගුව අනුමත කිරීම පිළිබඳව නැවත වතාවක් සිතාබලන ලෙස ජී එල් පීරිස් මහතා කතානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටියේය.