අධිකරණයේ ස්වාධිනත්වය පිළිබිඹු කරමින් මෙරට ආර්ථිකය බංකොලොත් කිරීමට හේතු වූ ආර්ථික ඝාතකයන් හෙළිදරව් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නත් මෙම පිරිස තවමත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරප්‍රසාද බුක්ති විඳිමින් සිය සුපුරුදු ජීවිතය ගත කරමින් සිටින බවත් ඔවුන් එම තීන්දුවට ගරු නොකළ ද ඔවුන්ගේ වැරදි තීන්දුවලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට බැවින් මොවුන්ට විරුද්ධව රජය ගනු ලබන පියවර කවරේද කියා ජනතාව අවදියෙන් සිටින බවත් එබැවින් රජයට කිසිදු ආකාරයට ලිහිල් ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බැවින් රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී. බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්. ඩී. ලක්ෂ්මන්, සමන්ත කුමාරසිංහ සහ මුදල් මණ්ඩලය විසින් මෙම බංකොලොත් භාවය සිදු කිරීමට කටයුතු කර ඇති බැව් අනාවරණය වී ඇති බැවින් මොවුන්ට විරුද්ධව ගන්නා පියවර කවරේද කියා විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

එසේම මෙම නඩු තීන්දුව අනුව මූලික අයිතීන් කඩකර ඇති පුද්ගලයින්ට එරෙහිව කරුණු සොයා බලා වාර්තා කිරීමට සහ එම පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් වහාම පත් කර මෙම ආර්ථික ඝාතකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

මෙහි දී විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර එහි දී කතානායකවරයා විසින් විපක්ෂ නායකවරයාගේ මයිකෆ්‍රෝනය 4 වතාවක් විසන්දි කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බාධා එල්ල කරමින් කතා පැවැත්වීමට අවස්ථාව ලබා දුන්නේය. පාර්ලිමේන්තුවේ ගැලරියේ පාසල් ළමුන් සිටිය දී පවා විපක්ෂ නායකවරයාගේ කතාව සිදු කිරීමට බාධා කරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සියල්ල සභා ගර්භය හරහා විපක්ෂ නායකවරයාගේ ආසනය ආසන්නයට පැමිණි බාධා කිරීම් දිගින් දිගටම සිදු කළේය.

එසේම විපක්ෂ නායකවරයා අතේ තිබූ ප්‍රශ්න සහිත කොළය ආණ්ඩු පක්ෂයේ සනත් නිශාන්ත මන්ත්‍රිවරයා උදුරා ගෙන එය පොළොන්නරුවේ සමරවික්‍රම මන්ත්‍රිවරයාට ලබා දී එය තවත් තැනකට ගෙන ගිය බවත් එය අගමැතිවරයා පවා බලා සිටිය දී සිදුවූ බැවන් මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.