ජනාධිපතිවරයා අර්බුදයේ කොටසක් මිස විසඳුමේ කොටසක් නොවන බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කයිවාරුවලින් විසඳීමට නොහැකි බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පැවැසීය.

අද (06) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය චරිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය.

ජනාධිපතිවරණ සටනේ සංවාදය මිත්‍යා ප්‍රබන්ධ ඉදිරිපත් කරන වික්‍රමසිංහ දේශපාලනයෙන් සහ කයිවාරු දේශපාලනයෙන් බේරාගත යුතු බවත් මේ පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට සමගි ජනබලවේගයට විශාල වගකීමක් තිබෙන බවත් ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සූදානම් බවත් හේරත් මහතා හෙතෙම ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසුවේය.

‘‘මෙවර ජනාධිපතිවරණය අනෙකුත් ජනාධිපතිවරණවලට වඩා තීරණාත්මක ජනාධිපතිවරණයක්. රට ආර්ථික ප්‍රශ්න ගණනාවක පැටලී ඇති නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ රටට අවශ්‍ය මොහොතක වගේම දේශපාලන ක්ශ්‍රේත්‍රයේ ප්‍රතිසංස්කරණ රැසක් අවැසි මොහොතක තමයි 2024 ජනාධිපතිවරණය පවත්වන්න කටයුතු සුදානම් කරලා තිබෙන්නේ.

ඒ වගේම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මිත්‍යා දෘෂ්ඨි ගණනාවක් සමාජගතවී තිබෙනවා. ජනාධිපතිවරයාත් මිත්‍යා මත විශාල ප්‍රමාණයක් සමාජ ගත කිරීමට දැඩි උත්සාහයක් ගන්නවා. මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක ජනාධිපතිවරණයක් නිසා මෙම මිත්‍යා දෘෂ්ඨික මත නිරාවරණය කළ යුතුයි. මෙවර ජනාධිපතිවරණය බොරුවෙන් බේරා ගත යුතුයි. ඒ නිසා යථාර්ථය ජනතාවට තේරුම් කිරීම ජනාධිපති මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණය තුළින් සිදුකළ යුතුයි.

ඒ වගේම රටේ ආර්ථිකය කඩා වැටීමට තමන්ගේ කිසිදු දායකත්වයක් නැති බව පෙන්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ ගනිමින් සිටිනවා. හතර වතාවක් අගමැතිවෙලා ඉදලා , බැදුම්කර ණයවලින් බිලියන 12 ක් අරගත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයාට රටේ ආර්ථික පරිහානියට තමන්ගේ දායකත්වයක් නෑ කියලා කියන්න බෑ. නමුත් රටට ඒ බව පෙන්වන්නේ නෑ. රටේ ආර්ථික කඩාවැටීම්වලට 2009 – 2010 ආණ්ඩුව , 2015 – 2019 ආණ්ඩුව වගකිව යුතුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආර්ථිකය කඩාවැටීමේ කොටසක්.

ඒ වගේම ජනාධිපතිවරයා පවසනවා අර්බුදය අවස්ථාවේ වෙන කිසිවෙක් රටේ වගකීම භාර ගත්තේ නෑ. ඒ නිසා තමන්ට රටේ වගකීම භාර ගන්න සිද්ධ වුණ බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරු රට වෙන කිසිවෙකුට දෙන්න කැමැති වුණේ නෑ. ඒ අවස්ථාවේ රාජපක්ෂලාගේ සහ පොදුජන පෙරමුණේ එකම ආරක්ෂකයා බවට පත්වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. නමුත් අද වනවිට තමන්ව බලයට ගෙනාපු පොදුජන පෙරමුණ දෙකඩ කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කරලා තිබෙනවා.

ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා ඉන්නවනම් රටේ ආර්ථික වර්ධනයක් තිබිය යුතුයි. වසර දෙකක කාලය තුළ විදේශ අයෝජන රටට ගේන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. රටේ ආර්ථිය ගොඩගන්න පුලුවන් තමන්ට ඒ සඳහා බෙහෙත් තිබෙන්නේ තමන් සතුව බව ජනාධිපති මිත්‍යා මත ප්‍රකාශ කරමින් සිටිනවා. ආර්ථිකය ගොඩගැනීම සඳහා කිසිදු විකල්පයක් ජනාධිපතිවරයා නෑ. ජනාධිපතිවරයා අර්බුදයේ කොටසක් මිස විසඳුමේ කොටසක් නෙවෙයි. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කයිවාරු වලින් විසදන්න නොහැකියි.

ජනාධිපති සටනේ සංවාදය මිත්‍යා ප්‍රබන්ධ ඉදිරිපත් කරන වික්‍රමසිංහ දේශපාලනයෙන් සහ කයිවාරු දේශපාලනයෙන් බේරාගත යුතුයි. මේ ප්‍රශ්නය පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනගන්න සමගි ජනබලවේගයට විශාල වගකීමක් තිබෙනවා. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සූදානම්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලඥයෙක් විදිහට රටේ ආර්ථික අර්බුදය පිළිබඳව විමර්ශනයක් සිදුකරනවා වගේම රටේ ආර්ථික අර්බුදය විසදීමට හැකි සියලු පාර්ශ්ව සමඟ මැදිහත්ව කටයුතු කරනවා. රටේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමට නායකත්වය , වැඩසටහන සහ කණ්ඩායම කියන තුනම එකට සිටිය යුතුයි. නායකත්වය , වැඩසටහන සහ කණ්ඩායම කියන තුනම තිබෙන එකම බලවේගය සමගි ජනබලවේගය පමණයි.

රටේ ආර්ථික වර්ධනය ඉලක්කම් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ජනතාව පිළිබඳවත් ප්‍රශ්නයක්. ආර්ථික වර්ධනය වුණාම එහි සහනය ඉබේම ජනතාව ලැබෙනවා. ආර්ථික වර්ධනය පිළිබඳව හිතනවිට අංක සහ ජනතාව පිළිබඳවත් සිතිය යුතුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අංක සහ ජනතාව පිළිබඳව හොදින් කල්පනා කරන්න පුලුවන් නායකයෙක්. ශ්‍රී ලංකාව වැනි රටක ඉලක්කම්වල වර්ධන වේගය සහ ජනතාව පිළිබඳව කල්පනා කරලා කටයුතු කළ යුතුයි. රටේ මේ මොහොතේ ගොඩනැගිය යුතු ඒකාබද්ධ විය යුතු
ප්‍රධානම නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය කියන කාරණය හොදින්ම පැහැදිලියි.

රටේ තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගන්න ක්ෂණික තින්දු තීරණ ගන්න සිදුවෙනවා. එ් සඳහා දක්ෂ කණ්ඩායමක් විපක්ෂ නායකවරයා සතුව සිටිනවා. රට ඉදිරියට ගෙන යන්න ආර්ථික ක්‍රියාකාරකම් වැඩි කළ යුතුයි. රජයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදුකළ යුතුයි. වංචාව දූෂණ අඩුකරන අලුත්වීමක් රටේ ප්‍රජාව බලාපොරොත්තු වෙනවා. ඩිජිටල්කරනය හරහා ශක්තිමත් රාජ්‍ය පරිපාලයක් රට තුළ ඇති කළ යුතුයි. ඒ දේවල් සිදුකරන්න හැකියාව තිබෙන්නේ සමගි ජන සන්ධානය සමඟ ගොඩගැගෙන අලුත් ආණ්ඩුවට පමණයි”