ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තුව තුළ පැවති ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ජය ගැනීම අරුමයක් නොවේ.ඒ සදහා නාම යෝජනා ඉදිරිපත් කිරීමට ඔහුව යොමු කරේ රාජපක්ෂලා බව ද නොරහසකි.

පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත් රාජපක්ෂ පොහොට්ටු කල්ලියේ නැට්ටේ එල්ලී රනිල් වික්‍රමසිංහ සිය සිහිනය සැබෑ කර ගත්තේ ජනතා මතය අමු අමුවේ නොසලකා හරිමින් ය.මෙවැනි නූල් සූත්තරයකින් ජනාධිපති වනවා හැර රනිල් වික්‍රමසිංහට මෙරට පරමාධිපත්‍ය තුළ ජනාධිපති වීමට නොහැකි බව ඔහු ද හොදින් දන්නා කරුණකි.

සමාජ මාධ්‍ය තුළ ඔහුට සුභ පැතුම් එක් කරන්නේ ඉතාම සුළුතරයක් වූ එජාප පාක්ෂිකයන් සහ පොහොට්ටුවේ සහචරයන් ය.පාර්ලිමේන්තුවේ බහුතරය හිමි වුව ද ඉන් පිටත ප්‍රබල විරෝධය තිබෙන බව දැක ගත හැකිය.ඒ නිසා රනිල් සිය ගෞරවය තමා විසින්ම මේ වන විට විනාස කර ගනිමිනි සිටී.

රනිල්ගේ ජයග්‍රහණය ගැන උදම් අනමින් විපක්ෂයට චෝදනා කරන දේශපාලන අනාතයින් ද සිටී.නමුත් රනිල්ට ජනතා විරෝධය වැඩි වෙද්දී විපක්ෂය තවත් ශක්තිමත් වූ බවක් නම් පෙනේ.සජිත් ප්‍රේමදාස ගත්තේ ඔහුගේ දේශපාලන ජීවීතයේ හොදම තීරණයයි.සිය පක්ෂය තනිව තරග කරනවාට වඩා අන් කණ්ඩායම් සමග එකතු වීම ඔහු ලැබූ ජයග්‍රහණයකි.රාජපක්ෂලා ජාතිවාදය වපුරද්දී සජිත් සියලු ජාතීන් නියෝජනය කරන පක්ෂ සමග එකගතාවයක් ඇති කර ගැනීමට සමත් විය.එය සජිත්ගේ සැබෑ ජයග්‍රහණයකි.ඉදිරියටත් ඒ එකගතාවය පවත්වා ගෙන යාම සජිත්ගේ දක්ෂතාවයකි.

රනිල් ලබා ගත් ඡන්ද 134 රටම විරුද්ධ වූ දූෂිත රාජපක්ෂලගේ හෙන්චයියන්ගේය.ඒ නිසා ඒ පිළිබඳ උදම් ඇනීම විහිලුවකි.

දැන් රනිල්ගේ අලුත්ම සෙල්ලම එජාපය යළි හදන්නට කියා සජබ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමයි.එයට හොදම උත්‍තරයක් දීම සජිත්ගේ වැඩකි.ඌරාගේ මාලු ඌරාගේ පිටේ තියා කපන්නට සජිත් උපායශීලි විය යුතුය.

රනිල් සහ මහින්දට වඩා සජිත් යනු මනුෂ්‍යත්වය තුළ හොද මනුස්සයෙකි.රටේ නායකත්වය තුළ ඔහු ජනතාවට උපරිම සේවයක් කිරීමට ඔහුට හැකි ය.එසේ කිරීමට වර්තමාන ඩීල් දේශපාලනය තුළ උපායශීලිව ඔහු සිය නායකත්වය මෙහෙයවිය යුතුය.

අනුපමා ගොඩකවෙල