රට බංකොලොත් කරමින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ රාජපක්ෂවරුන් ඇතුළු පිරිසට එරෙහිව නීතිපතිවරයා කටයුතු නොකරන්නේ නම් රටේ සාමාන්‍ය පුරවැසියන්ට අධිකරණය හමුවේ යුක්තිය ඉල්ලා සිටිමට හැකි බව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පැවැසීය.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ පසුගියදා  (12) පදනම් ආයතනයේ පැවැති යුක්තිය වෙනුවෙන් ජනමතය නැමැති සම්මන්ත්‍රණයට එක්වෙමිනි.

තරුණ වෘත්තියවේදීන්ගේ සංගමය මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබූ අතර එහිදී රට ආර්ථික වශයෙන් බංකොලොත් කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඔන්ලයින් පෙත්සමකට අත්සන් තැබීමද සිදුකළ අතර මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්විණි.

  ‘‘ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදුන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලබාදීලා තිබෙන්නේ හරියාකාරව කරුණු හදාරලා නෙවෙයි කියලා. නඩු තීන්දුව වෙනුවෙන් නැවත කරුණු ඉදිරිපත් කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරලා තිබෙනවා.  ලංකායේ ශ්‍රේෂ්ඨතම අධිකරණ තිබෙන්නේ එකයි. ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය.  එතින් එහාට අධිකරණයක් නෑ. ඉතිහාසයේ කිසිදු දිනක ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වෙනස් කරලා නෑ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මෙවන් ප්‍රකාශ නිකුත් කරන්නේ කාගේ උපදෙස් මතක කියලා මම දන්නේ නෑ.  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ කියනවා මෙම නඩුතීන්දුවට පාදක වෙලා තියෙන්නේ නඩු තීන්දුවේ ඉදිරිපත් කරපු කරුණු පමණයි. නඩු තීන්දුවේ සාකච්ඡා නොකළ කරුණු ගණනාවක් තිබෙනවා කියලා. නඩුතීන්දුවට පාදක වෙලා තියෙන කරුණු වලට වගකීමක් නැති බවත් නාමල් රාජපක්ෂ කියලා තිබෙනවා. රාජපක්ෂ තුන් කට්ටුවට ශ්‍රේෂ්ඨාධිකරණය කිහිප වතාවක් නොතිසි නිකුත් කළා. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරු දෙදෙනෙක් පෙනී සිටියා.  ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලේඛන 1000 කට වඩා ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබුණා. මෙම නඩුව ඉදිරියට රැගෙන යාමට අවස්ථාව දුන් විට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා මූල්‍ය මණ්ඩලයට රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධව මූල්‍ය මණ්ඩලය සාකච්ඡා කළ සියලු කරුණු සහ මහ බැංකු අධිපතිවරයා විසින් බලයලත් පුද්ගලයින්ට ලබාදුන් සියලු ලිපි ලේඛන ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන්න කියලා. ඒ වාර්තාව පිටු 3000 කට වැඩියි. ඔවුන් අපිව අතරමං කරන්න හිතාගෙන ඒ අකාරයට වාර්තාව සකස් කළාද දන්නේ නෑ.

නමුත් අපි ඒ සියල්ල එකින් එක අධ්‍යනය කළා. ආර්ථිය බංකොලොත් කළ පිරිසෙන් අයෙක් වරදකරුවෙන් වුණොත් අවම වශවෙන් අවුරුද්දක සිර දඩුවමක් සහ උපරිම අවුරුදු 20 ක සිරදඩුවම ක් ලැබිය හැකියි. කරන ලද හානිය මෙන් තුන්ගුණයක් දඩයක් ලෙස රජයට අය කරගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි මේ මහජන පෙත්සම අත්සන් කිරීම සිදුකරන්නේ. ඒ පෙත්සම ඉදිරිපත් කරලා තිබෙන්නේ රටේ නීතිපතිවරයාට. ඒ තීන්දුව ගත යුත්තේ නීතිපතිවරයා. නීතිපතිවරයා ඒ තීන්දුව ගනියිද නැද්ද කියලා කියන්න බෑ. ඒ තීන්දුව ගැනීමෙන් පමණයි නඩුවක් ආරම්භ කිරිමට හැකි වෙන්නේ. නීතිපතිවරයා එම තීන්දුව ගන්නේ නැත්නම් පෞද්ගලික කෙනෙකුට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා පෙත්සමක් මාර්ගයෙන් මහේස්ත්‍රාත්වරයා හරහා නඩු පැවරීමේ හැකියාවක් තිබෙනවා. ‘‘