සමගි ජන බලවේගය ප්‍රමුඛ ඉදිරි මැතිවරණය සඳහා ගොඩනඟන සමගි ජන සන්ධානය අගොස්තු මස 8 වැනිදා එළිදක්වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (23)  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා මෙසේ ද පැවැසීය.

“මෙම සතිය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරලා තිබෙනවා. ලබන මාසයේදී මැතිවරණ පනත අනුව නාම යෝජනා භාරගත යුතුව තිබෙනවා. සැප්තැම්බර් මාසය අගදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙනවා. ඒ වගේම සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ තිබෙන වැඩි මන්ත්‍රී නියෝජනයක් තිබෙන පක්ෂ සමඟ සන්ධානගත වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි. සිංහල , දමිල , මුස්ලිම් , බර්ගර් යන සියලුම කණ්ඩායම් සමඟ එකතුවී සමගි ජන සන්ධානය නිර්මාණය කරනවා. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ සියලුම දෙනා ඒක රාශි කරගෙන දැවැන්ත සන්ධානයක් නිර්මාණය කරන්න කටයුතු සිදුකරගෙන යනවා.

ඒ අනුව අගොස්තු මස 8 වැනිදා සමගි ජන සන්ධානය එළිදක්වන්න කටයුතු කරනවා. රටේ තිබෙන සියලුම ප්‍රශ්නවලට උත්තර ලබාදෙන්න සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති මාලාවත් එළි දක්වන්න කටයුතු කරනවා. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනසන්ධායේ ජනාධිපතිධූර අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දුරකතනය ලකුණින්. සමගි ජනබලවේගය ගොඩනගන සන්ධානය සඳහා දුෂණයෙන් තොර , අද්දැකිම් තිබෙන විශාල නායකයින් පිරිසක් සහ දමිල , මුස්ලිම් පක්ෂ එකතුවීමට නියමිතයි. මන්ත්‍රීවරු 30 කට වැඩි ප්‍රමාණයක් සමගි ජන සන්ධානය සමඟ එකතු වීමට නියමිතයි.

ආර්ථික දේශපාලන පරිවර්තනයක් සිදු කරමින් කඩා වැටී ඇති රට ගොඩගැනීම සමගි ජන සන්ධානය හරහා සිදුකිරීමට නියමිතයි. එමෙන්ම සමගි ජන සන්ධානය සියලු දෙනාටම එකට සිටගත හැකි සන්ධානයක් බවට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ බිහිවුණ ශක්තිමත්ම පුළුල්ම සන්ධානය බවට සමගි ජන සන්ධානය පත්වෙනවා. ඒ වගේම රටේ සිටින හොර අල්ලන්න පුලුවන් වෙන්නෙත් දුෂිතයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න පුලුවන් වෙන්නෙත් සමගි ජන සන්ධානයට පමණයි”