රටේ ජනතාව බඩගින්නේ දුක්විදින කොට රටේ වත්මන් නායකයා සහ හිටපු රාජ්‍ය නායකයා විශාල කේක් ගෙඩියක් කපමින් උපන් දින සමරණ බවත් රටේ ජනතාවගේ ජන ජීවිත බෙල්ලෙන්ම කපපු නායකයෝ වත්මන් නායකයාගේ පිහිටෙන් සැපවත් ජීවිතයක් ගත කරන බවත් මෙය 2019 ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලන ගජමිතුරන් එකට එකතු වී ඔවුන්ගේ පවුල්වල ඇති අඩුපාඩුකම් පිරිමහ ගෙන සැපවත් ජීවිතයක් ගත කළත් රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට එදිනෙදා වේල් 3වත් පිරිමහ ගන්න බැරි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් මේ පාලකයන්ට රටේ ජනතාව විඳින දුක සම්බන්ධයෙන් කැක්කුමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ බදුවතුගොඩ ශ්‍රී සුනන්දාරාමයේ වාහල්කඩ සසුනට පූජා කිරීමේ අවස්ථාවට අද එක්වූ අවස්ථාවේදීය.

රට බංකොලොත් කළ අයගෙන් වන්දි ගන්න අධිකරණයට යන්න, නීති සහාය අපෙන්

මේ රට බංකොලොත් කළ ආර්ථික ඝාතකයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය අනාවරණය කල බවත් රට බංකොළොත් කළ පුද්ගලයන්ට විරුද්ධව සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය නියෝජනය කරන විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තිදෙනෙකු ගොනුකළ පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පසුගිය රජයේ පාලකයන් විසින් උල්ලංඝනය කර ඇති බවත් මේ තීන්දුව හරහා සනාථ වන්නේ රටේ ලක්ෂ 220ගේම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නෛතික ක්‍රියාදාමය නිසා රටේ ලක්ෂ 220 ජනතාවට රට බංකොළොත් වීම නිසා තමාට සිදුවූ පාඩුව සහ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා නීතිය හමුවට යාමේ මාර්ගය විවෘත වූ බවත් ඒ සඳහා අවශ්‍ය නීති සහාය ලබා දීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය වැඩපිළිවෙළක් දියත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම පෙත්සම තුළින් සමගි ජන බලවේගය වන්දි ලබා නොගත්තත් රටේ ලක්ෂ 220ට වන්දි ලබා ගැනිමට සහයෝගය ලබා දෙන බවත් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රටේ ජනතාවට යම්කිසි පිළිසරණක් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හොරුන්ගෙන් රටයි ක්‍රිකටුයි බේර ගන්න වෙලා.

අපට ඉගෙන ගන්න බොහෝ දේ ඇති බවත් බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දේශනා කළ පරිදි අහිතකර දේ සහ අයහපත් දේවල් සිදු කිරිම පහසු වුවත් හිතකර දේ සහ යහපත් දේ ක්‍රියාත්මක කිරීම දුෂ්කර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සදහා ලංකාවේ ක්‍රිකට් උදාහරණයකට ගෙන බැලුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ඩොලර් මිලියන ගණනක මුදල් උල්පතක් බවත් ඒ හරහා අප රටට ලැබෙන මහා මුදල් ඉල්ලම සොරා කෑමට වෙනමම ක්‍රිකට් මාෆියාවක් සංවිධානය වී ව්‍යාජ ක්‍රිකට් සමාජ නිර්මාණය කර බලයට පත්වී ගමේ නගරයේ දිස්ත්‍රික්යේ සහ සංගම් මට්ටමින් ක්‍රිකට් දියුණු කරන්න ඇති මුදල් එළිපිට සොරා කන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම අයි. සී. සී යට අනුව ක්‍රිකට් පරිපාලනය සිදුවිය යුත්තේ ස්වාධිනව බවත් එවැනි ස්වාධිනකමක් රට තුල නොමැති බවත් දේශපාලන ඇගිලි ගැසීම් සිදුවන බවට අප රටේ ක්‍රිකට් පරිපාලනය අයි. සි. සී. යට බොරු තොරතුරු වාර්තා කිරීම නිසා ක්‍රිකට් තහනමට ලක්වූ බවත් මේ වන විට ඇති අමාරුම දේ වන්නේ විවිධ ධනවතුන්ගේ සහ දේශපාලනඥයන්ගේ අතකොළු බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගැනීම බවත් ක්‍රිකට්වලට ලැබෙන මුදල් ගසා කෑමට මාන බලා සිටින මේ පුද්ගලයන්ගෙන් ක්‍රිකට් ගලවා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.