අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන්නේ බටහිර කේන්ද්‍රියව දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්වලට මුල්තැනක් ලබා දී බවත් මීට අමතරව ආර්ථික, සමාජීය, සෞඛ්‍ය, සමාජීය, සංස්කෘතික හා ආගමික අයිතිය ඇතුළත් විය යුතු බවත් සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් වූවා නම් ආර්තව දර්ද්‍රතා ප්‍රශ්නයට මීට වඩා සාධාරණ විසඳුමක් ලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වෙනුවෙන් ‘එන්න, අපි ස්ත්‍රීත්වය සමරමු’ යන මාතෘකාව ඔස්සේ කාන්තා ආර්තව දරිද්‍රතාව සම්බන්ධයෙන් වැල්ලවත්ත මිරාජ් හෝටලයේ පැවැති සමුළුවක් අමතමිනි.

රටේ කාන්තාවන්ගෙන් 50%ක් ආර්තව දරිද්‍රතාවෙන් පෙළෙනවා.

2021 ඇඩ්වොකාටා ආයතනය හදුනා ගෙන ඇති ආකාරයට රට තුළ ගෘහ මූලික පවුල් ඒකක ලක්ෂ 54ක වයස අවුරුදු 15 සිට 49 දක්වා කාන්තාවන් හා දැරියන් ලක්ෂ 53ක් සිටින බවත් ඔවුන්ගෙන් 50%් ආර්තව දරිද්‍රතාවෙන් පෙළෙන බව හදුනාගෙන ඇති බවත් ආර්තව දරිද්‍රතාව යනු ආර්තව චක්‍රයට අවශ්‍ය උපාංගවලට ප්‍රවේශයක් නොමැති වීම හෝ ලබා ගැනීමට නොහැකි වීම හෝ සීමා සහිත ප්‍රවේශයක් පැවතීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගැන 2019 කියද්දි මාව විවේචනය කළා

ආර්තව සෞඛ්‍ය හා සෞඛ්‍ය සම්පන්න භාවයට මෙම මෙවලම් සෘජු බලපෑමක් කරන බවත් මේ ප්‍රවේශය සීමාසහිත වීම තුළ දැරියකගේ කාන්තාවකගේ උපරිම ඉලක්ක සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාව මේ ආර්තව දරිද්‍රතාව නිසා අහිමි වන බවත් 2019 ජනාධිපතිවරයේදී මේ ගැන කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ තමාව විවේචනය කළ බවත් සත්‍ය වශයෙන්ම මේ මාතෘකාව ගැන කතා කරන්න හේතු වූයේ ආර්තව දරිද්‍රතාව පිටුදකින මෙවලම් උපකරණ හා ආම්පන්න ලබා දීමේ වෛද්‍යමය වැදගත්කම අවබෝධ වූ නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නිසා අධ්‍යාපනය පවා කඩා වැටෙනවා

ආර්තව දරිද්‍රතාව තුළින් ගැබ්ගෙල පිළිකාව නිර්මාණය විය හැකි බවත් අධ්‍යාපන ක්ෂේත්‍රය ද බරපතල කඩා වැටීමකට තුඩු දෙන බවත් මේ සදහා ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, හොද සෞඛ්‍ය සේවාවක් ආර්තව කළමනාකරණය උදෙසා තිබිය යුතු බවත් බොහෝ දැරියන් මේ පහසුකම් නොමැති නිසා පාසල් යාමට පවා මැලිකමක් දක්වන බවත් මේ කාලයේදී තුනෙන් එකක් පමණ දැරියන් පාසල් නොයන බවත් ඉන් අධ්‍යාපනයට විශාල හානියක් වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

රටේ කාන්තා ශ්‍රම බලකාය අඩුවෙන්නත් මෙය හේතුවක්

මේ ගැටලුව අප සමාජය තුළ ඉතාම වැරදි ආකාරයට අර්ථකථනයට ලක්ව හංවඩු ගැසීමක් සිදුවූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අප රටේ ශ්‍රම බලකා දායකත්වය 33ත් 35% අතර පවතින බවත් කර්මාන්ත ශාලාවල සේවය කරන කාන්තාවන්ට මේ සදහා නිසි පහසුකම් නොමැති බවත් කාන්තාවන් ගැවසෙන ස්ථානවලට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, පිරිසුදු ජල පහසුකම් හා ආර්තව මෙවලම් ඉවත් කිරීමේ පහසුකම් ගැන රටක්, සමාජයක් ලෙස සංවේදීව සිතිය යුතු බවත් ය.

කතාවෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක වීමේ කාලය එළැඹ ඇත.

මේ ආර්තව දරිද්‍රතාව ඉවත් කිරීමට රටක් ලෙස ප්‍රායෝගික ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් මේ මාතෘකාව ගැන අපි බොහෝ සේ සාකච්ඡා පවත්වා ඇති නිසා කතාවෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කාලය එලැබ ඇති බවත් ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශ, ස්කොට්ලන්තය, නවසීලන්තය මෙම පහසුකම් නොමිලේ ලබා දීම කෙන්යාව මේ සදහා ගහන බදු ඉවත් කිරීම නොමිලේ ලබා දීම සිදු කරන බවත් ඔවුන්ට මේවා පුළුවන් නම් අප රටටත් හැකි බවත් එයට දේශපාලන අධිශ්ඨානයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

කාන්තාවට හිමි නිසි ගෞරවය අප ලබා දිය යුතුයි

නිදහසේ, සාධාරනත්වයේ යුක්තිය පදනම වන්නේ මානව වර්ගයාගේ සියලුම සාමාජිකයන්ට ගෞරවාන්විතව ජීවත් වීමේ අවස්ථාව නිර්මාණය වූවොත් පමණක් වුවත් ආර්තව චක්‍රය හා මේ සම්බන්ධ කරුණු කාරණා සමාජයේ හංවඩු ගහන තැනකට පත්ව ඇති බවත් මේ ආර්තව චක්‍රය තුළ යම් අය සමාජයෙන් සැගවෙනවා නම් ඉවත් වෙනවා නම් ඒ අයට විවිධ හානිකර මෙවලම් උපයෝගී කර ගන්න සිදුවෙනවා නම් නියත වශයෙන්ම අභිමානයෙන් ගෞරවාන්විතව සමාජයේ ජීවත් වීමේ අවස්ථාව අහිමි වන නිසා ඒ අවස්ථාව ලබා දිය යුතු බැවින් කියන දේ කරන යුගයක් නිර්මාණය විය යුතු බව විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.