විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට සංචාරයක නිරත ජපාන මුදල් අමාත්‍යවරයා ඇතුළු ජපන් නියෝජිත පිරිස අතර සුවිශේෂී සාකච්ඡාවක් අද (12) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවේදී සිදු විය.

සිය ආර්ථිකය ශීඝ්‍ර කාර්මිකකරණයකට යොමු කරමින් අපනයන ක්ෂේත්‍රය ද සංවර්ධනය කරගැනීමට ජපානයට හැකිවූ ආකාරය සහ පශ්චාත් දෙවැනි ලෝක යුද සමය තුළ ජපානය විසින් අත්පත් කරගන්නා ලද නැවත ගොඩනැගීම් ආශ්‍රිත අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට ඉගෙන ගත හැකි පාඩම් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි දූත පිරිස අමතමින් පැවසීය.

පසුගිය රාජපක්ෂ රජය විසින් කොළඹ සහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය හදිසියේ අවලංගු කිරීමට ගත් අදූරදර්ශී තීරණය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය පක්ෂය යටතේ පිහිටුවනු ලබන රජයක් තුළ එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවට සහතිකයක් ද ජපාන මුදල් අමාත්‍යවරයා වෙත ලබාදෙන ලදී.

වසර ගණනාවක් පුරා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් JAICA වෙතින් ලද සහාය පිළිබඳව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජපාන මුදල් අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පළ කරන ලදී. තවද, ජපානයේ උතුරු දිශාවට බලපෑ සුනාමි තත්ත්වයෙන් බලපෑමට පත් ජපන් ජනතාව වෙත සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය හෘදයාංගම ශෝකය හා සංවේගය ද පළ කරන ලදී.

මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම්, එරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, නාලක ගොඩහේවා, රොහාන් පල්ලෙවත්ත, මයන්ත දිසානායක, චන්දිම වීරක්කොඩි හා හර්ෂණ රාජකරුණා යන මහත්වරුන සහභාගි වූහ.