රට ආර්ථික වශයෙන් බංකොලොත් කළ පිරිස සමඟ ජාතික එකඟතා හෝ ජාතික ආණ්ඩු සෑදීමට සමගි ජනබලවේගය සූදානම් නැති බවත් මොළේ තිබෙන කිසිදු අයෙක් වර්තමාන පාලකයන් සමඟ ජාතික ආණ්ඩු නිර්මාණය කරන්න නොයන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
පසුගිය දා (28) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.
ආණ්ඩුව උත්සහ කරන්නේ ජාතික එකඟතාවය යන වචනය ඉදිරියට දමාගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු බිලිබාගන්න සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට එල්ල වන විරෝධය විපක්ෂය සමඟ බෙදා ගන්න බවත් මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා මෙසේද පැවැසීය.
‘‘පසුගිය ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණ නාමයෝජනා කැඳවපු පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මුදල් නොදී මැතිවරණය කල් දැම්මා. ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ මුදල් නැති නිසා නෙවෙයි ඡන්දය නැති නිසා තමයි මැතිවරණ කල් දැම්මේ. ඒ මැතිවරණයේදී ජනතාවට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දුන්නේ නෑ. නමුත් 2024 පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණය කල් දාන්න ව්‍යාවස්ථාවෙන් කිසිදු ඉඩක් නැ. ඒ නිසා මොන උප්පරවැට්ටි දැම්මත් ජනධිපතිවරණය ඔක්තොම්බර් මාසය අවසන් විමට පෙර පැවැත්විය යුතුයි.
ජනතාවගේ ජන මතය නැතිව තමයි ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ පිරිස පාලන බලයේ රැඳි සිටින්නේ. ඒ පාලන බලය රැක ගැනීමට ආණ්ඩුව විවිධ උප්පරවැට්ටි දමමින් සිටිනවා. ජනාධිපති මැතිවරණයට පෙර ප්රජාතන්ත්රවාදය කප්පාදු කරන්න , අදහස් ප්‍රකාශ කිරිම කප්පාදු කරන්න , තොරතුරු දැන ගැනීමේ අයිතින් නැති කරන්න , ත්‍රස්ත පනත මගින් ආණ්ඩු විරෝධීන්ව සිරගෙවල් වලට ගාල් කරලා විශාල මර්දනයක් දියත් කරන්න ආණ්ඩුව සැලසුම් කරගෙන යනවා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ රටේ පවතින සමාජ මාධ්‍ය පාලනය කිරිමට. සමාජ මාධ්‍ය හරහා ජනතාවට තොරතුරු දැන ගැනීමට හැකි විශාල පරිසරයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ පරිසරය නිර්මාණය වීම හරහා ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරු කරන වංචා දුෂණ සහ ප්රජාතන්ත්රවිරෝධී සියලු කාරණා හෙළි දරව් වුණා. ඒ හෙළිදරව් වීම් ආණ්ඩුවට අවාසි දායක තත්ත්වයක්. ඒ නිසා ආණ්ඩුව තොරුතුරු දැන ගැනිමේ අයිතිය වළක්වන්න උත්සහ කරනවා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත කරන්න පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වගන්ති ගණනාවකින් පෙන්වා දි තිබෙනවා මෙම පනත රටේ ව්‍යවස්ථාවට පටහැනියි කියලා. ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එකඟතාවය පළ කළා මෙම වගන්ති වෙනස් කරනවා කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්න යෝජනා 13 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට ඇතුළත් කරලා නෑ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්න යෝජනා පිළිබඳ සොයාබලා පනතට අත්සන් කරන බව පළමු වතාවට කතානායකට කියන්න සිද්ධ වෙලා තිබෙනවා.
ආසියානු අන්තර්ජාල කමිටුව මෙම පනතට ප්‍රසිද්ධියේ විරෝධය එල්ල කරලා තිබෙනවා. බහුජාතික සමාගම් ද මේ පනතට කණස්සල්ලා පළ කරලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ පිළිබඳව කණස්සල්ල පළ කරලා තිබෙනවා. ලෝකයේ මානව හිමිකම් සංවිධාන මේ පනතට සිය විරෝධය එල්ල කරලා තිබෙනවා. මේ සියලු විරෝධතා මැද ආණ්ඩුව මේ පනත ගේන්නේ ජනාධිපතිවරණයට කලින් සමාජ මාධ්‍ය නිහඩ කරන්න ඕන නිසා.
2001 දි රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සේ සහසික අපරාධ නීතිය අයින් කළා. මාධ්‍යකරුවන්ට විරුද්ධව නඩු දාන්න තිබුණ නිතිය ඔහු ඉවත් කළා. එදා ඔහු හිටියේ එක්සත් ජාතික පක්ෂ චින්තනයේ. නමුත් ඔහු අද ඉන්නේ රාජපක්ෂලාගේ ග්‍රෝත්‍රික චින්තනයේ.
රාජපක්ෂලා මාධ්‍ය නිදහසට කැමැති පිරිසක් නෙවෙයි. ඔවුන්ගේ පාලන කාලය තුළ තමයි මාධ්‍යකරුවන් ඝාතනය වුණේ , මාධ්‍ය ආයතන ගිනි තිබ්බේ.
පාලකයන්ගේ අවසාන කාලය පැමිණ තිබෙන බව දැනෙන නිසා ඔවුන් ජනතාවට තොරුතුරු දැන ගැනීමේ අයිතිය , අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය , ජනතාවගේ ප්රජාතන්ත්රවාදි අයිතිය ඇතුළු සියලු දේවල් මර්දනය කරන්න උත්සහ කරනවා. ඔවුන්ගේ පාලන කාලයේ අවසානයට පැමිණ තිබෙන බව වික්‍රමසිංහලා සහ රාජපක්ෂලා තේරුම් අරගෙන තිබෙනවා. ඒ නිසා රටේ මාධ්‍ය සහ ජනතාව මර්දනය කරලා ඔවුන්ගේ බලය දිර්ඝ කර ගන්න ඔවුන් උත්සහ කරනවා.
ආණ්ඩුවට ජනතා මතයක් නැතිව සිටින අවස්ථාවක ජාතික එකඟතාවය කියන වචනය ඉස්සරහට දාගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු බිලිබාගන්න ආණ්ඩුව උත්සහ කරනවා. ආණ්ඩුවේ අවසාන කාලය ඇවිල්ලා තිබෙන්නේ. කිසිම ජාතික එකඟතාවයක් හෝ ජාතික ආණ්ඩුවක් හදන්න සමගි ජන බලවේගය සුදානම් නෑ. ජාතික ආණ්ඩු හදන්නේ වර්තමාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ පැවැත්මට. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට එල්ල වන විරෝධය විපක්ෂය සමඟ බෙදා ගන්න තමයි තික එකඟතාවය කියන වචනය හදාගෙන එන්න යන්නේ. සමගි ජන බලවේගය ඒවට එකඟ නෑ. රට විනාශ කරපු පිරිස සමඟ කිසිදු එකඟතාවයක් නෑ.
ජනවාරි 30 වැනිදා ලංකාව පුරා සිටින සියලුම ක්‍රියාකාරීන්
සහ සිවිල් සංවිධාන සියලු දෙනා ඒකරාශි කරමින් දැවැන්ත විරෝධතාවයක් පවත්වන්න සුදානම් කර තිබෙනවා. අසීමිත ලෙස රටේ ජනතාව මත බදු බරක් පටවලා තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා රටේ උද්ධමනය 4.2 කින් වැඩි වෙලා කියලා
රටේ සියයට 53 කගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා කියලා. සියයට 43 ක් දරුවන් පාසල් අදින්නේ ගිය අවුරුද්දේ ඇදපු ඇදුම කියලා. රටේ දුප්පත්කම ලක්ෂ 50 කට වඩා ඉහළ ගිහින් කියලා ලෝක බැංකුව කියනවා. රටේ මන්දපෝෂණය සියයට 11 ට වඩා වැඩි වෙලා තිබෙනවා. ගජමිතුරු සමාගම් වලට අවුරුදු 25 ක 30 ක බදු සහන ලබාදිලා තිබෙනවා. ජනතාවගේ ඉවසිමේ සිමාව දැන් පැනලා තිබෙන්නේ. ජනවාරි 30 වැනිදා කොළඹට රැස්වෙන්න කියලා රටේ සිටින සියලුම ජනතාවට ආරාධනා කරනවා.‘‘