ගරු කථානායකතුමනි, ආරම්භයේදීම ප්‍රසන්න රණතුංග මේ සභාවට ඉදිරිපත් කළ කරුණු අපි සමගි ජන බලවේගය සන්ධානය විපක්ෂය හැටියට සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එතුමා කළේ සම්පූර්ණයෙන්ම මේ සභාව නොමඟ යැවීමක්.
ගරු කථානායකතුමනි,


කරදගස්තැන්න – නාරම්බැද්ද – හිරිවඩුන්න, රඹුක්කන ජීවත් වුණු කේ.ඩී. චමින්ද ලක්ෂාන් දරුවන් දෙදෙනකුගේ පියෙක්. නිරායුධ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරපු, තමන්ගේ දේශපාලනය කිරීමේ අයිතිය, තමන්ග් කතා කිරීමේ නිදහස උද්ඝෝෂණ කිරීමේ නිදහස ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වුණු පුද්ගලයෙක්. අපි පැහැදිළිවම කියන්නට කැමැති මේ චමින්ද ලක්ෂාන්ගේ මරණයට වගකියන්නට ඕනේ රාජපක්ෂ රජයේ ම්ලේච්ඡත්වය සහ රාජ්‍ය ත්‍රස්තවාදය බව මේ අවස්ථාවේ කියන්න ඕනේ.
ගරු කථානායකතුමනි,
ආරක්ෂක අංශවලට උපදෙස් දීලා තිබෙන්නේ අවම බලය ක්‍රියාත්මක කරන්න. මම අහන්න කැමැති වෙඩිතියන එක, මිනීමරණ එක අවම බලයද? ම්ලේච්ඡත්වය අවම බලයද, රාජ්‍ය ත්‍රස්තවාදය අවම බලයද කියලා මම අහන්න කැමති. මම දන්නවා ගරු කථානායකතුමනි, මේවා අහන් ඉන්න බැරි නරි, හිවල්ලු කෑ ගහනවා. ඒවට අපි සැලෙන්නේ නෑ. ඔය ආසනේ ඉදන්ම රණසිංහ ප්‍රේමදාස දෝෂාභියෝගය කතා කරපු හැටි ඒ අය දන්නෙ නෑ. ඒ නිසා නරි කෑ ගැහුවට මම බය නෑ.
ගරු කථානායකතුමනි, මම කියන්න කැමති මේ ම්ලේච්ඡ, ත්‍රස්තවාදී ආණ්ඩුව මේ මිනීමරණ ආණ්ඩුව අද කරන්නේ රටේ ජනතාව මර්දනය කිරීම. මම අහන්න කැමති මිනීමරණ එක අවම බලයද? ටී.56 උන්ඩ පාවිච්චි කරන එක අවම බලයද? කවුද වෙඩි තියන්න බලය දුන්න එස්.එස්.පී. මොකක්ද එස්.එස්.පීගේ නම. එස්.එස්.පී. කාගේ කවුද? කවුද? මොකක්ද එස්.එස්.පී.ගේ සම්බන්ධතාව. මේවා ගැන කරුණාකරලා එළිදරවු කරන්න.
ගරු කථානායකතුමනි, මම කියන්න කැමති දැන් ජන පීඩක ආණ්ඩුව දැන් ජන ඝාතක ආණ්ඩුවක් වෙලා. අලුත් පොලිස් ඇමැති මෙහෙමද වැඩ ඇල්ලුවේ, මෙහෙමද වැඩ පටන් ගත්තේ, මිනී මරලද වැඩ පටන් ගත්තෙ කියලා මම අහන්න කැමති.
ගරු කථානායකතුමනි, මම අහන්න කැමති මේ ආණ්ඩුව දන්නෙ නැද්ද මානව අයිතිවාසිකම් රකින්න ඕනේ කියලා.
ගරු කථානායකතුමනි, මම අහන්න කැමති මේ ආණ්ඩුව දන්නෙ නැද්ද අයි.එම්.එෆ්. සාකච්ඡාව යනවා කියලා. මේ ආණ්ඩුව දන්නෙ නැද්ද භාෂණයේ, ප්‍රකාශනයේ නිදහස තියෙනවා කියලා දන්නෙ නැද්ද? මේ මිනිස්සු පාරට ආවේ බවුසර් ගිනි තියන්න නෙවේ. මේ මිනිස්සු පාරට ආවේ කිරි ටික, සීනි ටික, හාල් ටික, තෙල් ටික ගන්න, ගෑස් ටික ගන්න. මාස ගණනාවක් පෝලිම්වල හිටපු මේ මිනිස්සු ටික මේ ආණ්ඩුව හිතා මතාම පීඩනයට, තර්ජනයට, ගර්ජනයට, මර්ධනයට දැන් ඊයේ දවසේ මිනී මරන්නට පටන් අරගෙන. මම කියනවා මේ රටේ තියෙන්නේ මිනීමරු ආණ්ඩුවක්. මේ මිනීමරු ආණ්ඩුව අපි ඉදිරියේදී ජන බලයෙන් ජන සවියෙන් අපි ඉවත් කරනවා කියලා කියන් කැමති.
ගරු කථානායකතුමනි, මම අහන්න කැමති මේ ආණ්ඩුව මිනී මරලා බලයේ ඉන්නද හදන්නේ. බලය රැකගන්නද හදන්නේ. මම මතක් කරන්න කැමති මේ ආණ්ඩුවටත් මේ ආණ්ඩුවෙම කෑල්ලක් වුණු හිටපු ආණ්ඩුවටත් උගණ්ඩාවට ජලය ලබාදුන් ඉතිහාසයක් තියෙනවා. හැබැයි රතු පස්වල ජනතාව ජලය ඉල්ලනකොට මරලා දැම්මා. ධීවරයෝ ඉන්ධන සහනාධාර ඉල්ලනකොට වෙඩි තිබ්බා. මරලා දැම්මා. රොෂාන් චානකව මතකද. ඒ කරපු මිනීමරු ක්‍රියාවන් මතකද? මම කියන්න කැමති. ලසන්ත වික්‍රමතුංගව මැරුවා. ලලිත්ලව කූගන්ලව මැරුවා. මාධ්‍යෙව්දීන් මර්දනය කරා. මාධ්‍යෙව්දීන් ඝාතනය කළා. මේ රඹුක්කනින් දුන්න සංඥාව තමයි ජන අරගලයටත් ගහනවා කියන එක. අපි කියනවා එහෙම සංඥා දෙන්න මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නෑ. ජන අරගලය ආරක්ෂා කරන්නට සමගි ජන බලවේගයත්, සමගි ජන සන්දානයත්, සමස්ථ විපක්ෂයක් පලිහක් හැටියට ඒ ජනතාව ආරක්ෂා කරන්නට අපි ඉන්න බව මේ අවස්ථාවේ කියන්න කැමති.
ගරු කථානායකතුමනි, මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් කරුණාකරලා අද දවල් 12 පෙර ආරක්ෂක ලේකම්ව, මහජන ආරක්ෂක ඇමැතිව, පොලිස්පතිව ගෙන්නන්න. අර වෙඩි තියන්න අනුබල දුන්නු එස්.එස්.පී.වත් ගෙන්නන්න. ඒ පිටුපස ඉන්න දේශපාලන බලවතුන්වත් ගෙන්නන්න. ඔවුන් සමඟ පක්ෂ නායකයින්ට සාකච්ඡාවක් ඕනේ කථානායකතුමනි. ඒ වගේම මම කියන්න කැමති ගරු කථානායකතුමනි, අපිට ඇහුණා අමාත්‍යවරයා කියනවා උද්ඝෝෂණය පිළිගත් ආණ්ඩුවක්ලු. උද්ඝෝෂණ පිළිගත්තු නිසාද ඇඳිරිනීතිය දැම්මේ. බාධා කරේ, ඉමජන්සි ඩික්ලෙයාර් කරේ. මම පැහැදිලිවම කියන්න කැමති. මෙතුමා කීවේ බොරුවක්. අපිට දැනගන්නට ඕනේ මොන ෂෙඩ් එකටද තෙල් ගෙනාවේ. කාගේ බවුසරෙන්ද ගෙනාවේ. ෂෙඩ් එකේ ප්‍රධානියා කවුද? ඔහු පිටුපස ඉන්න දේශපාලන හස්තය කවුද? ඇයි බවුසර්එක ගෙනාපු වෙලාවේ පරණ මිලට මේ ටික අලෙවි නොකර පැය ගණනාවක් මේ ටික තියාගෙන හිටියේ මිල වෙනස්වෙනකම් වැඩි මිලට මේ රටේ ජනතාවට වැඩි මිලට තෙල් ටික විකුණන්න. කරේ මහා දහජරා, අසික්කිත, නිහීන ක්‍රියාවක්, නින්දිත, පහත් තුච්ඡ ක්‍රියාවක්. මේ මිනිස්සුන්ගෙ පීඩනය තුළ මේ ආණ්ඩුවත් කරන්නේ හොරා කන එකයි, ගසා කන එකයි, කප්පම් දේශපාලනය කරන එකයි. ඒ නිසා විශේෂයෙන්ම අපිට ඇහුණා කොහෙදෝ පොලිසියකට කියනවා සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා. ඒවා අපි පිළිගන්නේ නෑ. හැමෝම පිළිගන්න විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කිහිප දෙනකුගෙන් සමන්විත වූ පරීක්ෂණ මණ්ඩලයක් අපිට අවශ්‍යයි. මේ එක එක පොලිසිවලට කියලා හරියන්නේ නෑ මේවා විභාග කරන්න. මොකද මේ ඇත්තන්ට තියෙනවා ඉතිහාසයක්. වැලිකඩ බන්ධනාගාරෙ හිටපු සිරකරුවන් ඝාතනය කරපු ඉතිහාසයක් මේ ආණ්ඩුවට තියෙනවා. ඒ නිසා මම අහන්න කැමති දැන් බවුසරයක් ගැන කතා කරනවා. මිරිහානේ අර හමුදාවෙ බස් රථයට කවුද ගිනි තිබ්බේ? අපි පැහැදිලිවම කියනවා ආණ්ඩුව ඇතුලෙ ආණ්ඩුවෙම ගෝල බාලයන් ගිනි තිබ්බෙ. ආණ්ඩුවෙ නියෝජිතයෝ ගිනි තිබ්බේ. ඒවා ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. ඒක තමයි තිත්ත ඇතත්. ඒ නිසා ගරු කථානායකතුමනි, අද මේ ආණ්ඩුවේ ම්ලේච්ඡත්වයට, රාජ්‍ය ත්‍රස්තවාදයට ගොදුරක් වුණු කේ.ඩී. චමින්ද ලක්ෂාන් මැතිතුමා වෙනුවෙන් අපි සිටිනවා. ඒ පවුලේ සියලු දෙනාගේම, ඒ දූ දරුවන්ගේ අනාගත වගකීම අපි අනිවාර්යයෙන්ම සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් අපි භාරගන්නවා. ඒක සුරක්ෂිත කරනවා. නමුත් ගරු කථානායකතුමනි, පවුලකට, දරුවකුට පියෙක් අහිමි වුණාම ඒ පවුලට තමයි ඒක තේරෙන්නේ. ඒ සිදුවුණු ඛේදනීය තත්ත්වයේ පාඩුව. ඒ විනාශය. මට ඇහුණා ඔබතුමා කියනවා බොහොම වැදගත් ප්‍රකාශයක්. පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමා කිව්වා මේ පක්ෂ නායක රැස්වීමේ හැමෝම ගිහිල්ලා කියනවා නම් ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්නයි කියලා එතුමා ලෑස්තියි කියන වචනය ඔබතුමා කිව්වා. අපි කියනවා අපි සූදානම් ඒ දේ කරන්න. ඔබතුමා අවස්ථාව ලබලා දෙන්න අපි සූදානම් ඒකමතිකව ඒ ප්‍රකාශය කරන්න. ඒ නිසා ගරු කථානායකතුමනි, නැවතත් ඉල්ලීමක් කරනවා අද 12ට පෙර අර නිලධාරීන් ටික ඔක්කොම ගෙනල්ලා මේ පක්ෂ නායකවරුන්ට ඒ අයට හරි ඇත්ත කතාව ප්‍රශ්න කරන්න අවස්ථාව ලබලා දෙන්න. මේ කැන්ගරු කණ්ඩායමට කැන්ගරු උසාවි උපයෝගි කරගෙන මේවා වහන්න කටයුතු කරන්න එපා කියලා මම ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ස්තූතියි