සිස්ටම් චේන්ජ් එකක් ගැන කියමින් බලයට පත්වුවද වත්මන් රජය සිදු කරමින් සිටින්නේ වංචා දූෂණ පිටුදැකීමට කටයුතු කිරීම වෙනුවට සුපුරුදු පරිදු වංචා දූෂණ හෙළිදරව් කරන පුද්ගලයින් දඩයම් කිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“රුපියල් 50 තිබුණු සීනි බද්ද ශත 25 ට අඩුකර ඒ වාසිය පාරිභෝගිකයාට නොදී ආණ්ඩුවේ ගජ මිතුරු ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු රජයට හිමිවිය යුතු රුපියල් බිලියන 30 ක පමණ බදු මුදල් රජයට අහිමිකළ බවත් මේ බදු මුදල් අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයින්ට ගියේ නැති බවත් අපි පෙන්වා දුන්නා.

මේක ගැන හොයන්න ආණ්ඩුව උනන්දු වුණේ නෑ. අපි කරපු බලපෑම නිසාම මේ සීනි ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණනයක් කර තිබුණත් එහි නිරීක්ෂණ ඉදිරිපත් කිරීම ආණ්ඩුව හිතා මතාම මග හරින බවයි අපිට පේන්නේ. අපි ආණ්ඩුවට බල කරනවා, එම වෝහාරික විගණනයේ තිබෙන කරුණු හෙළි කරන්න කියල. පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම කෙසේවෙතත්, ඔවුන්ව හූරාකන්න මොවුන් කටයුතු කරන ආකාරය පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා අනාවරණය කරල තියනවනේ. සතොස අඩු මිලට වෙළෙන්දෙකුට විකුණලා ආයිත් වැඩි මිලට සතොසට අරන් සුදූළුණු, උදු, සීනි, වලට වංචා කරන හැටි ගැන ඔහු කියල තිබුණා. ඒවට එරෙහි වුණවිට තමන්ට බලපෑම් කරපු විදිහත් කියල තිබුණා.

දුක තමයි, සිස්ටම් චේන්ජ් කරන්න ආපු ආණ්ඩුවකත් මෙහෙම වංචා මහ දවල් හෙළි වුණාම වරදකරුවන් වෙනුවට එය පෙන්නල දෙන පුද්ගලයින්ව දඩයම් කිරීම. අපිට කියන්න තියෙන්නේ සිස්ටම් එකේ කිසිම වෙනසක් වෙලා නෑ. මේ සුපුරුදු රාජපක්ෂ පාලනයමයි”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (19) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.