මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ආයතන මඟින් මෙරට විශාල මූල්‍ය වංචා රැසක් සිදුවන බවත් ඒ පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

”ඔන්ලයින් ලෝන් මාෆියාවට එරෙහිව පෙළ ගැසෙමු” සංවිධානයේ පිරිසක් පසුගියදා (07) හමුවූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය වූයේ මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ආයතනවලින් ණය ලබාගත් පුද්ගලයන්ගෙන් සියයට 365කට අධික පොලියක් අය කිරීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් කිසිදු නියාමනයකින් තොරව සිදුවන මෙම මූල්‍ය ගණුදෙනු නිසා ඇතැමුන් දැඩි පීඩාවට පත්ව සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පත්ව ඇති බවත්‍ ය.

ගිණි පොලී Online ණය පහසුකම් නිසා රටේ ජනතාව අගතියට පත් වෙලා – ”ඔන්ලයින් ලෝන් මාෆියාවට එරෙහිව පෙළ ගැසෙමු” සංවිධානය සමඟ පැවති මාධ්‍ය හමුවේදී සජිත් පැවසීය.

අපේ රට බංකොලොත් විමත් සමග විදේශීය මූල්‍ය ආයතන කිසිදු නියාමනයකින් හෝ ලියාපදිංචියකින් තොරව මාර්ගගත ක්‍රමයට ණය ලබා දීමේ ව්‍යාපාර සිදු කරන බවත් ඔවුන් ගිණි පොළියට ණය ලබා දීම නිසා ජනතාව අසරණ වී ඇති බැවින් වහාම මේ තත්ත්වය පාලනයකර නියමනය කිරීම රජයේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙවැනි කූඨ ව්‍යාපාර හරහා ජනතාව තවත් අසරණ වන බවත් මේ වන තුරු මෙවැනි ව්‍යාපාර සම්බන්ධයෙන් රජයේ අවධනය යොමු නොවුයේ රජයේ වගකිවයුතු නිලධාරින්ගේ ආශිර්වාදය ඒ සදහා ලැබී ඇති නිසාද කියා ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මාර්ගගත ක්‍රමයට ණය ලබා දෙන ආයතන මඟින් විශාල මූල්‍ය වංචා රැසක් සිදුවන බවත් එම මූල්‍ය වංචා මේ වන විට මාෆියාවක් බවට පත්ව ඇති බවත් මෙම ණය ලබා ගන්නා පුද්ගලයන් සියයට 365ක අධික පොලියක් අය කරන බවත් මේ නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන ලෙසත් ඉල්ලා පසුගියදා (5) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වීමට ඔන්ලයින් ලෝන් මාෆියාවට එරෙහිව පෙළ ගැසෙමු සංවිධානයේ පිරිසක් පැමිණියේය.

එහිදී ඔවුන් කියා සිටියේ කිසිදු නියාමනයකින් තොරව සිදුවන මෙම මූල්‍ය ගණුදෙනු නිසා දැඩි පීඩාවට පත්ව සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පවා පත්ව ඇති බවත් මෙම ණය ගෙවීම පැයක් හෝ ප්‍රමාද වුවහොත් අදාළ සංවිධාන පරුෂ වචනයෙන් බැනීම, බිය ගැන්වීම සහ විවිධ තර්ජන සිදු කරන බවත් ඉන් නොනැවතී දුරකථනය හරහා සොරා ගත් දත්ත සහ ඡායාරූප උපයෝගී කර ගෙන අපකීර්තියට පත්වන ආකාරයට කටයුතු කරන බවත් ඊට අමතරව සමාජ මාධ්‍ය හරහා අදාළ ණය ලබා ගන්නා පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පතේ ඡායාරූප පළ කරමින් අපහාසාත්මක ලෙස හැසිරෙන බවත් පැවසීය.

මේ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත හා ප්‍රදේශයේ අදාළ පොළිස් ස්ථාන වෙත පැමිණිළි ඉදිරිපත් කලද මේ වන තුරු කිසිදු සහනයක් ලැබී නොමැති බවත් රූපවාහිනී හා ගුවන්විදුලි ගවේෂණාත්මක වැඩසටහන් හරහා මේ සම්බන්ධයෙන් අනාවරණය කළත් ඒ සඳහා රජයේ බලධාරීන්ගේ අවධානය යොමු නොවු බවත් ඔවුන් පැවසීය.

ඒ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මහබැංකු අධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී මෙම මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනුවත් කළ අතර එහි දී මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මෙම සිදුවීම් නිසා අගතියට පත් පාර්ශ්වයන්ට තමා හමුවට පැමිණ අදාළ ගැටලුව ඉදිරිපත් කරන ලෙසත් ය.

එසේම ඒ අවස්ථාවේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කළ අවස්ථාවේදී ටිරාන් අලස් මහතා කියා සිටියේ අදාළ පැමිණිලිවල පිටපත් තමාට වට්ස්අප් මාර්ගයෙන් එවන ලෙසත් ඒ සම්බන්ධයෙන් සොයා බලා අදාළ අගතියට පත් පාර්ශ්වයන් හමුවී සාධාරණයක් ඉටු කර දෙන බව යි.