තේ පඳුරක ඇති ශක්තියෙන් 90%ක්ම යොදා ගනු ලබන්නේ එහි පැවැත්ම හා වර්ධනය වෙනුවෙනි. බෝග නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන්නේ ඉතිරි 10%ක ප්‍රමාණයයි. ඒ නිසාම තේ වගාවන් නියමාකාරයේ කෘෂිකර්ම භාවිතයන් තුළින් පෝෂණය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. වගාවේ ඵලදාවේ ප්‍රමාණයට අනුව එහි වැඩීම හා ගසෙහි වර්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි NPK පොහොර යෙදීම අනිවාර්ය වේ.

මෙම අවස්ථාවේදී කාබනික පොහොර යෙදීම තුළින් තේ වගාවට අවශ්‍ය NPK පොහොරවලින් ලැබෙන පෝෂණය නොලැබෙන අතර ඒ හේතුවෙන් අධි තනි පත්‍රයක් හෝ බන්ජි පත්‍ර පමණක් නිපදවීමට තේ ගසට සිදු වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ අංකුර හෝ කොළ 2,3 ක් සහිත රිකිලි අවම වීමයි. තමන්ගේ ආදායම ඉහළ නැංවීම වෙනුවෙන් හැකි තරම් දළු රැස් කිරීමට උනන්දු වන තේ දළු නෙලන්නෝ බර අඩුවීම මත බන්ජි පත්‍ර හෝ තනි පත්‍රද අස්වැන්න ලෙස නෙලා ගැනීමට උත්සුක වෙති. එහි ප්‍රතිඵලය වන්නේ මෙම තනි හා බන්ජි පත්‍ර අස්වනු ලෙස කර්මාන්තශාලාවට පැමිණීමයි.

මේවා තේ නිෂ්පාදනය සඳහා කිසිසේත් සුදුසු නොවන අතර ඒ නිසාම අවසන් නිෂ්පාදනය දුඹුරු පැහැයකින් තොරව අළු හෝ සුදු මැලි ලෙස දක්නට ලැබේ. තේ නිෂ්පාදනයේදී අවසානයේ ප්‍රතික්ෂේපිත තේ බවට පත් වන්නේ මෙම නිෂ්පාදනයන්ය. මීට වසර 30 කට පමණ පෙර තේ නිෂ්පාදනයේදී ප්‍රතික්ෂේපිත තේ වල ප්‍රමාණය 6%ක් පමණ වුවද ශ‍්‍රම හිඟය හේතුවෙන් මේ වනවිට නෙලන දළු ප‍්‍රමාණයෙන් 10%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේපිත තේ බවට පත්ව ඇත. එවන් තත්වයක් තුළ අවම NPK අන්තර්ගතයක් සහිත කාබනික පොහොර හිටි හැටියේ භාවිතා කිරීම තුළින් නිෂ්පාදනයේ ප්‍රමිතිය අඩු වීම පමණක් නොව කසළ තේ ප්‍රමාණයද ඉහළ යනු නිසැකය.

නිෂ්පාදනය කරනු ලබන තේ වල ඇති කළු වර්ණයේ ප්‍රමාණය ඊට වෙළෙඳපොලෙහි ඇති ඉල්ලූමද ඉහළ නංවන අතර එය නිෂ්පාදනයටද ඉහළ වටිනාකමක් එක් කරනු ලබයි. එහෙත් යෝජනා කර ඇති කාබනික පොහොර යෙදීම මගින් NPK විශාල ලෙස අඩුවීම හේතුවෙන් තේ වල ගුණාත්මකභාවය පිරිහීමට ලක්වන අතර එය ලොව පිළිගත් සිලෝන් ටී නාමයට ආපසු හැරවිය නොහැකි ලෙස දැවැන්ත පරිහානියකට ලක් වනු ඇත.

NPK අවම කාබනික පොහොර තුළින් තේ පඳුරේ සැකැස්මට සිදු කරන බලපෑම

තේ ඵලදාව තීරණය කරනු ලබන ප්‍රධාන සාධකය වන්නේ තේ පඳුරේ සැකැස්මයි. තේ පඳුරක ඇති ඵලදායිතාව බොහෝ සෙයින් තීරණය වන්නේ එහි අතු සංඛ්‍යාව මත වීම සාමාන්‍ය තත්වයකි. අතු ගණන වැඩි වීම, අස්වැන්න විශාල වීමට හේතුවක් වන අතර කප්පාදු කිරීමෙන් පසු තේ පඳුර අඟල් 6 ක් උසට ඇලවීමටද එය හේතු වේ. VP ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ගත් කල අවුරුදු 4ක කප්පාදු කිරීමේ චක‍්ක්‍රීය කාල වකවානුවේදී පඳුරුවල උස ක්‍රමයෙන් ඉහළ යාමට සැලැස්විය යුත්තේ ඉන් නිපදවන අලූත් දළු නිෂ්පාදනය වෙනුවෙන් නෙලා ගැනීම තුළිනි.

එසේම තේ පඳුර කප්පාදු කිරීමෙන් පසු 1 වන සහ 2 වන වර්ෂයන්හිදී පඳුරුවල උස අඟල් 8 -10 ත් දක්වා ප්‍රමාණයකට ඉහළ යා යුතු අතර 3 වන සහ 4 වන වර්ෂයන්හිදී අඟල් 6 සිට 8 දක්වා උස යා යුතුය. මේ තුළින් ඉදිරි කාලයේදී බෝග නිෂ්පාදනය සඳහා මූලික පදනම සැකසෙන අතර ඒ සඳහා වන සාරවත් අතු ඇති කිරීම සඳහා තේ පඳුරේ සැකැස්ම වර්ධනය කිරීම මේ තුළින් සාක්ෂාත් කරගත හැක.

දශක 4ක් තිස්සේ තේ වගාව තුළ ඇති අත්දැකීම් හා පළපුරුද්ද මත පදනම්ව අඩු NPK මට්ටමක් සහිත කාබනික පොහොර යෙදීමට කටයුතු කළහොත් දැනට ඇති තේ පඳුරුවල ප්‍රමාණය අඩු වී ගොස් විශාල දළු ප්‍රමාණයක් අහිමි වනු ඇති බවට පැවසිය හැකිය. පසු
ගිය කාලයකදී මෙම පොහොර භාවිතය NPK ඉහළ පොහොර භාවිතය දක්වා වෙනස් කළද දුර්වලව ගිය තේ පඳුරු යළි යථා තත්වයට පත් කිරීමට කිසිසේත් නොහැකි වනු ඇත.
එහෙයින් මෙම කාබනික පොහොර භාවිතය ආරම්භ කිරීමට පෙර තේ පර්යේෂණ ආයතනයේ කළමනාකාරීත්වය යටතේ එම යෝජනාවන් වසර 2ක පමණ කාලයක් පරීක්ෂා කිරීමට කටයුතු කිරීම වැදගත්ය. ඒ සඳහා සාරවත් තේ වතු දෙකක්වත් අවම වශයෙන් තොරා ගනිමින් වසර දෙකකට පසු එහි කාර්යසාධනය තක්සේරු කිරීමට මේ මොහොතේ රජයේ අවධානය යොමු වනු ඇතැයි මගේ විශ්වාසයයි.

අද වන විට තේ කර්මාන්තය තුළින් ඍජු හා වක්‍ර රැකියා මිලියන 2ක් පමණ ලබා දී ඇති අතර පොහොරවල කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රමාණවත් පර්යේෂණයන් තුළින් ඇගයීමක් නොකොට නුසුදුසු පොහොර ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනු ලැබුවහොත් අනතුරේ වැටෙන්නේ මිලියන 2ක් පමණ වන ජනතාවගේ ජීවිත බවද මේ මොහොතේ මතක් කළ යුතුය.
කාබනික පොහොර භාවිතය හඳුන්වා දීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැයද ඉහළ යන අතර ඒ නිසාම දුප්පතාගේ පානය වන තේ සමාජයේ සීමිත පොහොසත් කොටසකට පමණක් වන පානයක් බවටද පරිවර්තනය වනු ඇත. එහෙයින් රට සහ ජනතාව පිළිබඳව නැවත නැවතත් සිතා මෙම යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුතුව ඇත.

තේ යනු සොබා දහම විසින් මිනිසාට ලබා දෙන ත්‍යාගයකි. කිරීටක හෘදයාබාධ, සම, ආමාශ, පෙනහළු, බඩවැල්, පියයුරු සහ පුරස්ථි ආශ‍්‍රිත පිළිකා සහ දත් දිරායාම වැළැක්වීමට හැකි සෞඛ්‍ය ගුණයෙන් පිරිපුන් ලොව මිල අඩුම පානය ලෙසද තේ හඳුන්වා දිය හැකිය.

දුලිප් ගුණරත්න
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ තේ පර්යේෂණ ආයතනයේ හිටපු උපදේශක