රනිල් වික්‍රමසිංහ තමන්ගේ නායකයා නොවන බවත් ඔහු කෙටි දුරක් යෑම සඳහා පාවිච්චි කිරීමට තෝරාගත් පුද්ගලයෙක් බවත් පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

ඔහුව මේ කෙටි දුර යෑමට තෝරා ගැනීමට හේතුව වූයේ ඔහුගේ ඇමරිකානු ගැති ස්වරූපයේ වාසිය ලබාගෙන ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට හැකි අවස්ථාව සලකා බවත් මන්ත්‍රීවරයා කියයි.

අද කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.

ඔහු එසේ කීවේ මහබැංකු වංචාව සම්බන්ධව පොදුජන පෙරමුණම දැඩි ලෙස චෝදනා කළ රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක ඇතුළු චූදිත එජාප පාර්ශවයට නායකත්වය භාර දී රටක් කරගෙන යෑමට පොදුජන පෙරමුණට සිදුවීම පිළිබඳ මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

එස්.බී දිසානායක පැවසුවේ මේසේය.

මෙහෙමයි. අපිට රනිල් එක්ක යම් කිසි දුරක් යන්න පුලුවන්. පැහැදිලි කරන්න ඕන. රනිල් අපේ පක්ෂ නායකයා නොවෙයි. අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ. අපේ නායකයා මහින්ද රාජපක්ෂ. අපි වෙන පක්ෂයක.

අපි ගොඩක් ඈත හිතලා තමයි මේ තීරණය ගත්තෙ. අපට හිතෙන්නෙ මොන ප්‍රශ්නය තිබ්බත් ලෝක බැංකුව, ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල අවසානයෙදි හිටගන්නෙ ඇමරිකාවත් එක්ක.

ඒ ඇමරිකාව වගේ රටවල් පොදු ජන පෙරමුණත් එක්ක මිත්‍රශීලී නෑ. නමුත් රනිල් වික්‍රමසිංහත් එක්ක බොහෝම මිත්‍රශීලීයි. ඒ වාසිය අපි මේ වෙලාවෙ පාවිච්චි කරනවා.

ඒ වාසිය ගන්නද රනිල් වික්‍රමසිංහ එක්ක මේ එකතු වුනේ ?

පැහැදිලිවම ඔව්. රනිල් වික්‍රමසිංහට අපට වඩා ඉතාම හොඳින් බටහිරත් එක්ක ඉන්නවා. ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ ගනුදෙනුව හොඳින් කර ගන්න ඔහුට පුලුවන් නිසා තමයි අපි බොහොම කැපවීමෙන් පරිත්‍යාගශීලීව රනිල් කෙරෙහි විශ්වාසය තියලා ඔහුට බලය දුන්නෙ.