මේ වන විට රටේ ජනතාව පාර්ලිමේන්තුව දිහා අවධානයෙන් බලා සිටින බවත් අද ගන්නා තීන්දුව අනුව මිනිසුන් ජීවත් කරවන්නේ කවුද සහ හොරකම වංචාව සහ බාල බෙහෙත් ගෙනවිත් පුරවැසියන් මරණ මංචකය කරා ගෙන යන්න සහයෝගය ලබා දෙන මැති ඇමතිවරු කවුද කියා තීන්දු වෙන බවත් සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධ විශ්වාසභංගයේදී මැති ඇමතිවරුන් ඡන්දය ලබා දෙන්නේ මිනිසුන් ජීවත් කරවන්නද මරා දමන්නද කියා තීරණය කිරීමේ අවස්ථාව උදා වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මිනිසාගේ පරම යුතුකම මිනිසා ජිවත් කරවීම හෙයින් සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂය 2019ට පෙරත් 2019ත් 2019න් පසුත් සෑම විටම සිට ගත්තේ මිනිසා ජීවත් කරවීමේ පැත්තේ බවත් මේ දූෂණ ක්‍රියාවන්වලට අධිකරණයේ දී සහ මහජන අධිකරණයේ දී තීන්දු තීරණ ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (8) සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ සභාව අමතමිනි.

විපක්ෂය රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට විෂය භාර අමාත්‍යවරයා කියනනේ ජනතාවගේ හිතේ නිදහස් නොමිලේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවිශ්වාසයක් ඇති කිරීමට උත්සාහ කරන බවත් පෞද්ගලික රෝහල් ප්‍රවර්ධනය කරනවා වැනි චෝදනා එල්ල කරන බවත් සුබසාධන රාජ්‍යයේ ප්‍රධාන අංගයක් වන නොමිලේ ලබා දෙන සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන ප්‍රශ්න ගැටලු කතා කිරීමට අයිතියක් නැද්ද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සුබසාධන රාජ්‍ය ප්‍රතිපත්තියේ ඇති නිදහස් සෞඛ්‍ය පිළිගන්නා බවත් නිදහස් සෞඛ්‍ය තුලින් රටේ ලක්ෂ 220කට ලබා දිය යුතු ප්‍රශස්ත ගුණාත්මක සේවාවේ ගැටලු ගැන පමණක් කතා කරන බවත් කුමන හේතුවකටවත් එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කරනවා කියන සංකල්පය අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම සෞඛ්‍ය සේවය කියන්නේ මානව අයිතියක් බවත් සමාජ සාධාරණත්වය ඇති කරන වැදගත් වැඩපිළිවෙළක් බවත් රෝග නිවාරණ ප්‍රතිකාර වැඩසටහන කාර්යක්ෂමව කාර්යශූරව ක්‍රියාත්මක කළ යුතු බවත් මෙම නිදහස් සෞඛ්‍ය සේවය රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ විශ්වාසභාංගය තුළින් කතා කරන්නේ බංකොලොත් රටේ පවා ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් සුබසාධන රාජ්‍යයේ වැදගත්ම අංගය වන නිදහස් සෞඛ්‍ය පෙරටු කර ගෙන හොරකම වංචාවෙන් යුතු ඖෂධ ජාවාරම් මෙහි දී ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේ නිරෝගී කම පරම ලාභය වුවත් එය අහිමි වී ඇති බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීම තුළ සතුටට් විශ්වාසයත් අහිමි වී ඇති බවත් රටේ ජනතාව පරලොව යවන මරණ මංචකය කරා යවන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක රටක අප සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය නිසි ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර පනත් උල්ලංඝනය කර තමන්ට රිසි සේ ඖෂධ ගෙන්වීමේ ජාවාරමක නිරත වි සිටින බවත් එහි දී ලියාපදිංචි නොකරපු බෙහෙත් බාල බෙහෙත් ගෙනවිත් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය අමු අමුවේ උල්ලංඝනය කරන බවත් කොවිඩ් සමයේ පවා එන්නතක් ඩොලර් 5ත් 7ත් අතර මුදලකට ගන්න තිබිය දී අපේ රට ගත්තේ ඩොලර් 15ක් වැය කරමින් බවත් මොවුන් මිනිසුන්ගේ දුක තුල මුදල් හම්බකිරීමේ ජාවාරම මේ වරමක් නොමැති ආණ්ඩුව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මේ සඳහා ඇමතිවරයා පමණක් නොව සෞඛය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවා වගකිව යුතු බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය රටේ සෑම තැනකම කඩා වැටි ඇති බවත් සෞඛ්‍ය ඇමතිවරයා නියෝජනය කරන ප්‍රධාන රෝහලේ යන්ත්‍රයක්වත් නඩත්තු කර ගැනීමට මේ සෞඛ්‍ය ඇමතිවරයාට නොහැකි වූ බවත් ඔහු විසින් ගෙන ආ බාල බෙහෙත් නිසා මරණ 27ක් පමණ සිදුවූ බවත් මේ මරණ සොයා බැලීමට පත් කළ කමිටුවට පවා කියා ඇත්තේ අසාත්මිකතා නිසා පමණක් මෙම මරන සිදු වූ බවට පූර්ව නිගමන දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙහි දී පැවසීය.

බාල ඖෂධවලට අමතරව වෛද්‍යවරු හා වෛද්‍ය සේවකයන් රට හැර ගොස් ඇති බවත් මෙම ක්ෂේත්‍රවල උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් සිටියත් ඔවුන්ට ද රැකියාවක් නොමැති බවත් මේ ගැටලුවලට විසඳුම් දෙන්න ඇමතිවරයාවත් ලේකම්වරයාත් කටයුතු කර නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ ගැටලුවලට අමතරව රෝහල්වල විදුලි බිල නොගෙවූ නිසා බොහෝ රෝහල්වල විදුලිය පවා විසන්දි කළ බව යි.