පළාත් පාලන මැතිවරණය කට උඩ තියාගෙන ණය පදනම මත භාණ්ඩ හෝ සේවාවන් ලබා ගැනීම තහනම් කරමින් ආණ්ඩුව හදිසියේ නිකුත් කළ අලුත් චක්‍රලේඛය මේ වන විට දේශපාලන කරළියේ ආන්දෝලනයකට තුඩු දී තිබේ. 

මැතිවරණය වැළැක්වීමට ආණ්ඩුව ගන්නා නේක උත්සහයන් අතර අලුත්ම එක මෙම චක්‍රලේඛය බවට විපක්ෂ දේශපානලඥයන් චෝදනා කරති. මෙම චක්‍රලේඛය අනියම් ලෙස මැතිවරණයට බලපාන ප්‍රධාන කාරණයක් බව පෙන්වා දෙන ඔවුන් පවසන්නේ සාමාන්‍යයෙන් ඉතිහාසයේ සිටම මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණයක් වෙනුවෙන් භාණ්ඩ හා සේවාවන් ලබා ගත්තේ පසුව මුදල් ගෙවීමේ පදනම මත බවයි. ඉන්ධන, ප්‍රවාහන ආහාර වැනි සෑම දෙයක්ම අත්පිට මුදලට කිසි දිනෙක අරගෙන නැති බව ඔවුන් පෙන්වා දෙයි. 

‘‘දැන් මේ කඩිමුඩියේ කිසිදු විශේෂ හේතුවක් නැතිව අර වගේ චක්‍රලේඛයක් නිකුත් කරලා, මෙය කඩ කළහොත් අදාළ නිලධාරීන් පෞද්ගලිකව වග කිව යුතුයි කියලා දාලා ඒ චක්‍රලේඛය මැතිවරණ කොමිසමටත් යවලා. මේ වෙලාවේ ඔය විදිහේ චක්‍රලේඛය ගලහන්න කිසිම විශේෂ හේතුවක් නෑ. මේක මැතිවරණ කොමිසමේ කටයුතු අඩපණ කිරීමට එක්තරා විදිහකින් දරන උත්සහයක්. 

මෙතෙක් කලක් ඡන්දය කල් දැමීම සඳහා අනුගමනය කළ යම් විධික්‍රියා උපක්‍රම සියල්ල සලකලා බලනකොට මේ චක්‍රලේඛය ගැසීමත් ඒ වැඩපිළිවේළේම එක අංගයක්‘‘යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ විපක්ෂයේ ප්‍රබලයෙක් පැවසීය.